එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ සිදු කරන ලද විශාලතම හා දරුණුම ළමා බිළි පූජාව

 1,704 Total views,  17 Views today

        බිලි පූජාවක් යන්න කුමක්දැයි අප අප හොඳින් අසා ඇත්තෙමු.ඒ එය අතීතයේ සිට පැවත ආ එක්තරා ඇඳහීමක් වන නිසාය. එයට ඇත්තේ ඉතා දිගු මෙන්ම පැරණි ඉතිහාසයකි.අසා ඇති අන්දමට බුදු රජුන්ගේ කාලයේ පවා බිලි පූජාවන් බ්‍රාහ්මණයන් විසින් පවත්වා තිබේ. එය ඔවුන් පවත්වන යාගයේම ප්‍රධාන කොටසකි.අශ්වයින් , පුරුෂයින් බිලිදී කරන පූජාවල් අශ්වමේධ, පුරුෂමේධ ආදී ලෙස විශාල බිලිපූජාවල් බ්‍රාහ්මණයින් විසින් සිදුකර ඇත.

එය එසේ වෙද්දී අප අද කියන්නට යන්නේද තවත් අමුතු බිලි පූජාවක් ගැනය.එනම් දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ උතුරු වෙරළ තීරයෙන් සොයාගෙන ඇති විශාල ඇටසැකිලි සංඛ්‍යාව හා සාක්ෂි පදනම් කරගෙනය.අනෙක් බිලි පූජා සමඟ ගත්කල මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙය කුඩා දරුවන් බිල්ලට ගත් “එතෙක් මෙතෙක් ලොව විශාලතම ළමා බිලි පූජාව” ලෙස හැඳින්වීමයි. මීට අවුරුදු පන්සිය ගණනකට පමණ පෙර එනම් ක්‍රි.ව. 1520 දී පමණ 140 කට වැඩි දරුවන් පිරිසක් හා 200කට අධික කුඩා ලාමාවරුන් පිරිසක් මෙසේ එකවර ඝාතනය කර තිබෙන්නේ චිම්යූ (Chimú) අධිරාජ්‍යය පැතිර ගිය වකවානුවේ එහි අගනුවරට ආසන්නයේ ම, පැසිෆික් සාගරයට මුහුණලා පිහිටි කඳු බෑවුමකය.

මේ පිළිබඳව මුලින්ම වාර්තා පළවූයේ ප්‍රියේටෝ නම් හුවාන්චෙකෝ ජාතික පුරාවිද්‍යාඥයකු විසින්  2011 වර්ෂයේ විශේෂ අධ්‍යයනය කටයුත්තක් සඳහා කළ හදිසි කැණීමක දී ය.ඒ කැණීමේදී එම පුරාවිද්‍යාඥයාට කුඩා දරුවන්ගේ සිරුරු 42ක් හා ළමා ලාමාවරුන්ගේ සිරුරු 76ක් හමුවී තිබේ. තවද බිලි පූජාව කළ භූමියට ඒමට තිබූ ඒ මාර්ගයේ සිදුකළ කැණීම්වලදී ඔහුට අවුරුදු 3500ක් පමණ පැරණි දේවස්ථානයක නටබුන්ද හමුවූ බව සඳහන්ය.

ඉන්පසු එම ස්ථානයේ විශාල වශයෙන් කැණීම් සිදුකළ අතර 2016 වසරේදී කැණීම් නිමකරන විට කුඩා දරුවන්ගේ සිරුරු 140ක් හා ළමා ලාමාවරුන්ගේ සිරුරු 200ක් සොයාගෙන තිබිණි. ඊට අමතරව ඒ අතර තිබී අවුරුදු 1400ක් 1450ක් පමණ කාලයක් පැරණි කඹ සහ රෙදිපිළිද හමු වී තිබේ. එයින් පසුව සිදුකළ කාබන් පරීක්ෂණ හරහා ඒවා එතරම් පැරණි බව සොයා ගෙන ඇත.

ඉන්කා, මායා මෙන්ම ඇස්ටෙක් වැනි ගෝත්‍ර අතර මිනිස් බිලි පූජා කිරීමේ යම් යම් අවස්ථාවන් යටත් විජිත සමය තුළ ස්පාඤ්ඤ ඉතිහාසයේ පැවති බව නූතන විද්‍යාත්මක කැණීම්වලදී ද වාර්තා වෙයි. නමුත් මෙසේ පූර්ව කොලොම්බියානු චිමූ ශිෂ්ටාචාරයේ මෙවැනි එක්වර මහා පරිමාණ ළමා  ඝාතන සිද්ධියක් සොයා ගැනීම  සියල්ලන්ටම පුදුමයට කරුණකි.

පේරුහි උතුරුදිග Huanchaco දිස්ත්‍රික්කයේ, Huanchaquito-Las Llamas නැතහොත් කෙටියෙන් Las Llamas නමැති ප්‍රදේශයේ, මුහුදට අඩි 1000 ක් පමණ නුදුරින් පිහිටි ජනාකීර්ණ ප්‍රදේශයක මේ බිළි පුජාව පැවැත්වූ ස්ථානය දැකගත හැකිය.

ටික කලකට ඉහත දී අදාළ පර්යේෂණ කණ්ඩායමේ සොයා ගැනීම්වල විද්‍යාත්මක ප්‍රතිඵල සමාලෝචනය කළ වාර්තාවක් විද්‍යා සඟරාවක් විසින් මාධ්‍ය වෙත නිකුත්කර තිබූ අතර එහිදී ටුලේන් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාඥ ජෝන් වෙරනෝ පවසා තිබුණේ දශක තුනකට අධික අත්දැකීම් ඇති ඔහුගේ ජීවිතය තුළ තමන් කිසිදා මෙවැන්නක් අපේක්ෂා නොකළ බව හා ලෝකයේ කිසිවෙකු මෙම කතාව විශ්වාස නොකරනු ඇතැයි කියාය.

බිලි පූජාවට ලක් වූ දරුවන්ගේ සිරුරු වළදමා ති බූ බව පෙනෙන්නට තිබේ. එනම් එසේ තැන්පත් කර තිබුණේ මුහුදට විරුද්ධ දිශාව වූ බටහිර දිශාවට මුහුණලාය. නමුත් කුඩා ලාමාවරුන් තැන්පත් කර තිබුණේ නැඟෙනහිර දිශාවට මුහුණලා ඇන්ඩිස් කඳු දිශාවටය. එම ඝාතනය කර තිබූ සියලුම පිරිමි ළමුන් වයස අවුරුදු 5 සහ 14 අතර වයස් පරාසයේ වන අතර වැඩි දෙනා වයස අවුරුදු 8 ත් 12 ත් අතර වෙති. ලාමා සතුන් අවුරුදු එකහමාරකට අඩු වයස්වල සිටි අය බව හෙළිවිය.මෙසේ ඝාතනය කරන ලද්දේ උතුරු හා දකුණු අන්තවලින් බිලි පූජා භූමියේ මධ්‍යයට ඔවුන් පෙරහැරින් ගෙන්වා බිලි පූජා භූමිය මධ්‍යයේදී කණ්ඩායම් දෙකම එකතු කර බව පර්යේෂකයින් පැහැදිලි කරයි.බිළි පුජාව පැවැත්වූ කාලයේ දැනට ඇති වැලි කන්ද මුළුමනින්ම මඩින් වැසී තිබෙන්න ඇති බව පරේෂකයින් නිගමනය කරයි. ඒ වියළි මඩ තට්ටුවෙන් පාවහන් පැළදි වැඩිහිටියන්ගේ, සුනඛයන්ගේ, පාවහන් නොපැළඳි දරුවන්ගේ සහ ලාමා පැටවුන් ගේ පාද සලකුණු සොයාගත් අතර ලාමා පැටවුන්ගේ පාද සලකුණු ගැඹුරු ලිස්සා ගිය ආකාරයක් පෙන්නුම් කරයි. එය ඔවුන්ව තමාගේ අවසානය දක්වා බලහත්කාරයෙන් ඇදගෙන ගිය බව පසක් කරයි.

මේ බිලි පූජාව තව තවත් සාහසික වන්නේ ඝාතනය වූ සැමගේ හදවත් සිරුර පලා ඉවතට ගෙන තිබීමයි.ළමුන් සහ සතුන් යන දෙකොටසේම පපු ඇටයේ තිරස් කැපුම් දක්නට ලැබෙන අතර ඉල ඇට බිඳී හා විසන්දි වී තිබේ. එයින් පැහැදිළි වන්නේ හෘදය ඉවත්ප් කිරීමට පහසු වීම සඳහා පපු ඇටය කපා ඉල ඇට දෙපසට ඇද ඇති බවයි. එය ඉතා පළපුරුදු කෙනෙකු හෝ කිහිපදෙනෙකු ක්‍රමාණුකූලව විද්‍යාත්මකව කර ඇති බවද පර්‍යේෂණවලින් අනාවරණය වී තිබේ.බිලි පූජාව ඉටු කිරීමට පෙර දරුවන්ගේ මුහුණු හා ළාමාවරුන්ගේ මුහුණුද රක්ත වර්ණ හිරිගල් විශේෂයකින් වර්ණ ගන්වා තිබී ඇති බවද සොයාගෙන ඇත.

ඊට අමතරව ඒ ආසන්නයේම තවත් වැඩුණු මිනිස් සිරුරු තුනක් හමු වී ඇත.එක් සිරුරක් පිරිමි කෙනෙකුගේ වන අතර අනෙක් සිරුරු දෙක ගැහැණු අයගේය.  ඒවා ඝාතනය වූ අනිත් ලමුන්ගෙ සිරුරු වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ලක්ෂණ පෙන්නුම් කරයි.ඔවුන්ගේ හිසට යම්කිසි තදබල පහරවල් එල්ල කර ඇති බවට සාක්ෂි හමුවේ.ඇතැම් විට ඔවුන් මෙම බිලි පූජාවට සහයෝගය දැක්වූ අයවලුන් වන්නට පුළුවන.බිලි පූජාව අවසානයේ දී ඔවුන්ව ද මරා දමන්නට ඇති බව සැක පළ කරයි.

බොහෝ විද්වතුන්ගේ අදහස වන්නේ වර්ෂාව පතා හෝ පැතිරී යන වසංගතයකින් ගැළවීමට හෝ යම් යුද ජයග්‍රහණයකට බාරයක් වශයෙන් හෝ යම්කිසි යුද ජයක් ප්‍රාර්ථනාවකින් මෙම බිහිසුණු ළමා බිලි පූජාව සිදුකරන්නට ඇති බවයි.නමුත් අදටද මෙවැනි විශාල කුරිරු බිලි පූජාවක් කරන්නට ඇත්තේ ඇයිදැයි නිශ්චිත නිගමනයකට ඒමට නම් විද්වතුන්ට හැකි වී නැත.ඇතැම් විද්‍යාඥයින් මෙහි නිවැරදි හේතුව සොයා ගැනීමට නම් කාලය හරහා ආපස්සට ගොස් බැලිය යුතු බව ප්‍රකාශ කරයි. පුරාවිද්‍යාඥයින්ගේ නිගමන නිවැරදි නම්, ලෝක ඉතිහාසයේ විශාලතම ළමා බිළි පූජාව වන්නේ Huanchaquito-Las Llamas හි සිදුකල බිළි පුජාවයි.

 

මේ වන තුරු, Huanchaquito-Las Llamas හි සිදුකල බිළි පුජාව  පිළිබඳ සාක්ෂි සොයා ගන්නා තෙක් අපට භෞතික සාක්ෂි තිබූ විශාලතම සමූහ ළමා බිළි පූජා සිද්ධිය වුයේ, ඇස්ටෙක් වරුන්ගේ අගනගරය වූ Tenochtitlán (වර්තමානයේ මෙක්සිකෝ නගරය) හි Templo Mayor දේවස්ථානයේ දරුවන් 42 දෙනකුගේ චාරිත්‍රානුකූල බිලිදීමයි.නමුත් Huanchaquito-Las Llamas හි සිදුකල මේ බිළි පුජාව ලෝක ඉතිහසයේ මේ වනතෙක් සිදුකළ විශාලතම ළමා බිලිපූජාව වන බවනම් අවිවාදයෙන් යුතුවම පිළිගත හැකිය.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply