ක්‍රිස්මස් දූපතේ රතු කකුළු පළස

 563 Total views,  3 Views today

පෘථිවිය සාගර බොහෝමයකට හිමිකම් කියන බැවින් මෙහි දූපත් වලින්නම් කිසිඳු අඩුවක් දක්නට නැත. ඒ දූපත් අතරින් ඇතැම් දූපත් ජීවත්වීම සඳහා ප්‍රිය උපදවන අතර සමහර දූපත් ජීවත් වීම පිළිබඳ සිතීමට පවා අපහසු කරවයි.තවත් සමහර දූපත්වල චර්‍යාවන් ලෝකයට චමත්කාරයක් එක් කරනු ලබයි. එවන් අසිරිමත් දූපතක් පිළිබඳව ඔබට මෙහිඳී හඳුන්වාදීමට කැමැත්තෙමු.


ඉන්දියන් සාගරයේ ජාවා දූපතට කිලෝ මීටර් 360ක් පමණ දකුණු දෙසින් ද, ඕස්ට්‍රේලියාවට කිලෝ මීටර් 1400ක් පමණ වයඹ දෙසින් ද පිහිටි ‘ක්‍රිස්මස් දූපත’ මේ චමත්කාරජනක දූපත වේ. මෙම දූපතේ ජනගහණය 1900ට ආසන්න වන අතර, දූපතේ වාසය කරන බොහෝමයක් චීන සම්භවයක් සහිත උදවිය යි. එමෙන්ම යුරෝපීය සහ මැලේ සම්භවයකින් යුතු පිරිසක් ද ක්‍රිස්මස් දූපතේ වාසය කරනවා.මෙම දූපත ඕස්ට්‍රේලියාවේ පරිපාලනය යටතේ පවතියි.


මෙම දූපත ‘ක්‍රිස්මස් දූපත’ ලෙස නම් කරනු ලබන්නේ අවුරුද්දේ එක් කාලයකට  මේ දූපත තනි රතු පලසක් ලෙස දිස්වන නිසා ය.එයට හේතුව විශේෂ කකුළු වර්ගයක ජීවන චක්‍රයයි. වඩදිය වේලාවට මේ දූපත විශාල ජල පහරවලින් වැසී යයි. ඒ සමඟ රතුපාට කකුළු විශේෂයක් පැමිණ දූපතෙහි බිත්තර දමායයි. ඉන් පසු එයින් එළියට එන මිලියනගානක් වූ රතු කකුළු පැටව් සෑමතැනම විසිරී මේ අලංකාර රතු පලස නිර්මාණය කරති. ‘ නත්තල් දූපත’ යන නම ලැබෙන්නේ එළෙසිනි.

  දෙසැම්බරයේ නත්තලට පෙර දූපත් වෙරළට පැමිණෙන මිලියන ගණනක් ගැහැණු කකුළුවන් බිත්තර දමායයි. නැවත වඩදිය පැමිණි පසු මේ කකුළු පැටවුන් නැවත මුහුදට ඇදීගොස් සාගර ජීවිතයට මිහු වී කලකින් දූපතට ආපසු පැමිණේ.

    දැනට දූපතේ කකුළු වර්ග කීපයක්ම දක්නට ඇත. ඔවුන්නම් ගොඩබිම ජීවිතයට හුරු වී ඇති අය වෙති. මෙයින් ඉහත කී රතු කකුළුවන් ඉතා විශේෂ වේ.මේ කකුළු විශේෂයේ විද්‍යාත්මක නාමය Gecarcoidea natalis ලෙසින් දැක්වේ.මොවුන්ගේ පිට මැද තද නිල් පැහැවන අතර අඬු 10හා සිරුර දීප්තිමත් රතු පැහැයක් ගනී. “ක්‍රිස්මස් දූපතේ රතු කකළුවන් ” ලෙස ද ඔවුන් ව හඳුන්වයි.


දූපතේ රතු කකුළු ජනගහනය අනෙක් කකුළුවන්ට වඩා ඉතා වැඩිය. අභිජනනය සඳහා වෙරළ තීරයකරා ඇදෙන මේ කකුළුවන් මිලියන ගණන දැකීමට පුදුම හිතෙන තරම් ය. එය “රතු කකුළු පෙළපාළිය ” ලෙසින් නම් කර ඇත.


ඔවුන්ගේ අභිජනන කාර්යය ද යම් චක්‍රයකට අනුව සිදුවේ. වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් අතර කාලය ඔවුන්ගේ සංක්‍රමණ කාලය වේ. චන්ද්‍ර දින දර්ශනය, නැතහොත් සඳෙහි අවධීන්, සමග එය බැඳී පවතී. රතු කකුළුවන් වෙරළ තීරයට සංක්‍රමණය වූ පසු සංසර්ග ක්‍රියාවලියේ යෙදෙන අතර එයට සතියක පමණ  කාලයක්වත් ගත වෙනවා. කැළෑ අභ්‍යන්තරයේ සිට වෙරළ තීරය දක්වා මිලියන ගණනකින් සිදුවන මේ මහා සංක්‍රමණයේ දී බොහෝ දුරට පිරිමි කකුළුවන් පෙරමුණ ගන්නා අතර, ඔවුන් ගැහැණු කකුළුවන්ට කලින් වෙරළට පැමිණ, ගුල් හාරා ගෙන, තම වාසස්ථානය අනෙක් පිරිමි කකුළුවන් ගෙන් ආරක්ෂා කර ගනීයි. හාරාගත් ගුල් ආසන්නයේ සංසර්ග ක්‍රියාවලිය සිදුකිරීමෙන් පසුව පිරිමි කකුළුවන් නැවතත් වනය තුළට සංක්‍රමණවන අතර ගැහැණු සතුන් තවත් අමතර කාලයක් ගුළ තුළම රැඳී සිටිමින් බිත්තර නිපදවීම සහ රැක ගැනීමේ කාර්යයට වෙහෙසෙයි. ඔවුන් බිත්තර මුහුද වෙත නිකුත් කරන්නේ චන්ද්‍ර දින දර්ශනයේ අවසාන කාර්තුව සහ නව සඳ අතර කාලය තුළ දී පමණකි. එම කාලය අතරතුර මුහුදේ වඩදිය බාදිය නැඟීම අවම වශයෙන් සිදු වන නිසා බිත්තර මුහුදු ජලයට මුසුකිරීමට පහසු ප්‍රවේශයක් ලබා දේ. නමුත් ඒ කාලය තුළ කාලගුණයේ වෙනසක් සිදුවුවහොත්, ඊළඟ චන්ද්‍ර මාසය එනතෙක් බිත්තර දැමීම කල් දමන්නත්  ගැහැණු කකුළුවන් ප්‍රවේසම්වේ. ඉන්පසු යම් කාලයක් මුහුදේ ජීවිතය ගතකරන කකුළු පැවවුන් නැවත දූපත කරා සේන්දු වන්නේ තම ජීවිතයේ ඉතිරි කාල පරිඡේදය ගෙවීම සඳහා ය.


මේ කුඩා දූපත මේ තරම් ප්‍රසිද්ධ වීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ ද රතු කකුළුවන්ගේ මේ අසිරිමත් ක්‍රියාකළාපය බවනම් කිව යුතුය.නමුත් ගෙවුනු වසර කීපයේ දී රතු කකුළු ගහනය වේගයෙන් පහළ බැස ඇත. එය මිලියන ගණනක පහත වැටීමකි.මෙසේ දූපත අභ්‍යන්තර වනාන්තරවල සිට වෙරළ කරා පැමිණෙන කකුළුවන්ට කුමක් සිදුවේ ද යන ගැටලුව පිළිබඳව සොයා බලා ඇති අතර එයට හේතුව ලෙස ආක්‍රමණිකයෙකුගේ පැමිණීම බව සොයා ගෙන ඇත. මෙසේ දූපත වටලා ඇති ආක්‍රමණිකයා කුහුඹුවෙකි. “යෙලෝ ක්‍රේසි ඇන්ට්” යනු ඒ කුහුඹුවාය.මොහු කහ මිශ්‍ර තැඹිලි පැහැති කුහුඹුවෙකි.


ඔහු වේගයෙන් දූපතේ ආධිපත්‍ය පතුරවා ඇත.මිනිස් ක්‍රියාකාරකම්වල තවත් එක් අතුරුඵලයක් ලෙස කුහුඹුවන් මේ භූමිය රාජධානිය කර  ගෙන සිටියි. එනම් ඔවුන්ගේ මුල්ම පැමිණීම සිදු වී ඇත්තේ නැවකින් වීම නිසා ය. ඔවුන්ට විලෝපිකයන් නැත. තර්ජනයක් ද නැත. අනතුරක් බාධාවක් නැත.මේ නිසා යෙලෝ ක්‍රේසි ඈන්ට් ඉතා වේගයෙන් ව්‍යාප්ත වේ.


රතු කකුළුවන්ට කෙසේවත් කුහුඹුවන්ගෙන් බේරී තම ගමනාන්තයට ළඟාවිය නොහැකි වී තිබෙයි. මන්දයත් කුහුඹු රජදහනවල් සෑම තැනකම පාහේ ව්‍යාප්ත වීම නිසා ය.කකුළුවන් නිරන්තරයෙන්ම මේ කුහුඹු සතුරන්ගේ ගොදුරු බවට පත් වීම ඉතා කණගාටු දායක වෙයි.

කුහුඹුවන් කකුළුවන්ට පහර දෙන්නේ විෂ විදීමෙනි . එම විෂ කකුළුවන්ගේ ඇස්වල හා මුඛයෙහි තැවරුණු පසු කකුළුවා අන්ධ බවට පත්වේ.එයින් බේරී පලා යාමට මඟක් ඔවුන්ට නැත. එය කකුළුවාගේ අවසානය වේ. මෙසේ බොහෝ රතු කකුළුවන්ගේ ඉරණම අවාසනාවන්ත ලෙස ලිය වී ඇතත් එයට එරෙහිව නැගී සිටීමට නම් මේ   අහිංසක ජීවීන්ට හැකියාවක් නොමැත.

මෙසේ මිනිස් ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින මිහිමතින් තුරන් වී වඳ වී ගිය බෙහෝ සම්පත් ඇත. ඉදිරියට ද එය තව වැඩි වීමක් මිස අඩුවක් නම් නොමැති බව ඔබත් මමත් දන්නා කරුණකි.

නමුත් මේ දූපතේ සිටින වැසියන් මේ අහිංසක ජීවී කොට්ඨාසයේ පැවතුම උදෙසා යම් යම් කැප කිරීම් කරමින් ඔවුනට තම සහයෝගය ලබා දෙන බවද කිව යුතුය. රතු කකුළු සංක්‍රමණ කාලයේ දී වනෝද්‍යාන සහ සමහර පාරවල් ද වසා තබන ඔවුන් කකුළුවන්ට ආරක්ශිතව පාර මාරු වීම සඳහා උමං මාර්ග හා පාරට ඉහළින් කකුළු පාලම්ද ඉදිකර තිබීම පැසසීමට යුතුම වූ කරුණු වේ.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.