තවමත් නොවිසුදුණු අබිරහසක උරුමක්කරුවෙකු වූ මරියානා (ii)

 628 Total views,  4 Views today

මරියානා ආගාධය පිළිබඳ තොරතුරු රැගෙන එන දෙවැනි ලිපිය මෙයයි.

පෙර ලිපිය මෙතැනින් බලන්න.

 

මෙයට ඉහත ලිපියෙහි මරියානාව සොයා ගැනීම,පිහිටීම,ගැඹුර,බිහිවීම හා එහි නීතිමය බලතල ගැන දැනුවත් කළහ.මෙහි දී අප විමසා බලන්න්නේ මරියානා ආගාධය තුළ සොයාගත් තවත් විශ්මය දනවන තොරතුරු කිහිපයකි

මරියානාව සොයා ගැනීමෙන් පසුව එහි ගැඹුර පිළිබඳ විවිධ ක්‍රම ඔස්සේ සොයා බැලුව ද විධිමත්ව, තාක්ෂණය මුසු කොට පරීක්ෂණය කරන ලද්දේ 1960 දී ය. ඒ සාගර ගවේෂකයන් වන Jacques piccard හා Don Walsh  යන දෙදෙනා විසිනි. ඔවුන් කුඩා සබ්මැරීනයක් ආධාරයෙන් කිලෝමීටර 10.9 තරම් ගැඹුරට ගමන් කර ඇත. එය මුල්ම සාර්ථක වෑයම යි. ‘Challanger Deep’ ලෙස මෙය නම් කර ඇත.


දෙවන අවස්ථාව වන්නේ 2012 දී Titanic, Avatar, The Terminator වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක කැනේඩියානු ජාතික ජේම්ස් කැමරන් මහතා මරියානාවේ ගැඹුර සෙවීමට ගත් උත්සාහයයි. මෙය තනි පුද්ගලයෙකු මරියානා ආගාධයට ගමන් කළ ප්‍රථම අවස්ථාවයි. ඔහු ‘Challanger Deep’ එක ආසන්නයට ගොස් තිබේ. එනම් කිලෝමීටර 10.8කි.


ඉන්පසු ඇමරිකානු පුද්ගලික කොටස් ආයෝජකයෙක්, විශ්‍රාමික නාවික නිලධාරියෙක් සහ සාගර ගවේෂකයෙක් වූ වික්ටර් ලාන්ස් වෙස්කෝවෝ Victor Lance Vescovo 2019 දී නැවත මරියානා ආගාධය තුළට ගමන් කිරීමට පෙළඹුණි. ඔහු ජේම්ස් කැමරන් මහතාට වඩා මීටර එකක් වැඩිපුර ගැඹුරට ගමන් කර ඇත .එය කිලෝමීටර 10.9වේ. මේ වන විටද මරියානා ගැඹුර සොයා ගිය පුද්ගලයින් 4දෙනා මොවුන් වන අතර වාර්තා වී තිබෙනේ ද මේ අවස්ථා තුන පමණි.


මරියානා ආගාධයේ ජල පීඩනය ගතහොත් එය සිතා ගැනීමටවත් නොහැකි තරම්ම අධික පීඩනයකින් යුක්ත වෙයි. එය වායුගෝලිය පීඩනය මෙන් දහස් ගුණයකින් වැඩිය. සාමාන්‍යයෙන් මතුපිට පවතින වායුගෝලීය පීඩනය වර්ග අගලකට රාත්තල් 14.7 (PSI 14.7) කි. නමුත් මරියානාවේ දී එය වර්ග අගලකට රාත්තල් 16,000කට (PSI 16,000) සමාන වෙනවා. සාමාන්‍ය ගැඹුරු මුහුදක මෙම පීඩන අගය සඳහන් වන්නේ වර්ග අගලකට රාත්තල් 3000 ත් 9000ත් (PSI 3000 -9000) අතර අගයකි. මේ අනුව බලන විට නිතරඟයෙන්ම මරියානාව වැඩිම පීඩන අගයක් ඇති මුහුදු පතුල ලෙස නම් කළ හැකි ය.
මෙම ආගාධයේ උෂ්ණත්වය ද තැනින් තැනට වෙනස් වන බව සොයාගෙන තිබේ. මරියානා පතුලට හිරු එළිය කිසිසේත් නොවැටෙන නිසා අධික අන්ධකාරකින් යුක්ත වාගේම අයිස් කඳු වැනි කිසිදු දෙයක් ළඟ නොමැති වුවත් පතුල අධික සීතල ස්වභාවයක් ගනී. මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 සිට 1 දක්වා වෙනස් වෙමින් පවති යි.
පෘථිවියේ සුමට පෘෂ්ඨ නැතිනම් ඝනකම අඩු ස්ථානවලින් පෘථිවි අභ්‍යන්තරයේ සිට ගලා එන ලාවා පෘථිවියේ මතුපිටට ගලා ඒමක් සිදුවේ.මේ ආකාරයටම මරියානා ආගාධය තුළද එවැනි ස්ථාන බොහෝ විට දැකගත හැකිය. එම ස්ථාම  ඉතා උණුසුම් වේ. එහි උණුසුම කෙතරම්ද යත් එය සෙල්සියස් අංශක 450 ක් තරම් ඉහළ අගයක් ගන්නා බව වාර්ථා වේ. මෙසේ මතුපිටට පැමිණෙන ලාවාවල සංඝටක මුහුදු පතුලේ තැන්පත් වී විවිධ විසිතුරු නිමැවුම් කරනු ලබයි.විවිධ කොරල් හැඩ නිර්මාණය කරන මේවා සාගර ජීවීන්ට නිවාසයන් නිර්මාණය කර දී තිබේ.


මෙතරම් උණුසුම් නම් ජලජ ජීවීන් කෙසේ ජීවත් වේ දැයි ඔබට පැනයක් මතු වීමට ද ඉඩ ඇත. ඇත්තවශයෙන්ම කිවහොත් කෙතරම් ඉහළ උෂ්ණත්වයක් ගත්තද ජලයේ අධික පීඩනය නිසා අධික සීතල නිසා ද උණුසුම වැඩිපුර මෙහි රඳා පවතින්නේ නැත. මේ නිසා ජලජ ජීවීන්ට අපහසුවකින් තොරව මෙහි රැඳී සිටීමට වරම් හිමි වී ඇත. හිරු එළිය නොමැති මෙම සාගර ජීවීන්ට අවශ්‍ය ශක්තියට නිපදවා ගැනීමට මෙම ලාවා සමඟ පිටවන ඛනිජ ලවණ බෙහෙවින් උපකාරී වේ.


ඉහත කී අවස්ථාවටම සමාන ලෙස තවත් සංසිද්ධියක් මරියානාව තුළ සිදු වේ.එනම් ලාවා පිටවන ස්ථානයකට සමානව තවත් ස්ථාන දැකගත හැකි වීමයි. එයින් ලාවා වෙනුවට පිට වන්නේ කාබන්ඩයොක්සයිඩ් ය. මෙය ‘ශැම්පේන් විවරය’ ලෙස හඳුන්වා දේ. මෙසේ කාබන්ඩයොක්සයිඩ් ඉහළට විදින සාගරයේ ඇති එකම ස්ථානය මෙය වීම ද විශේෂත්වයකි. මරියානා ගවේෂකයින් පිරිසක් මෙය සොයා ගන්නා ලද්දේ 2005 දී පමණ ය. මේ අවට කාබන්ඩයොක්ඩයිඩ් දියර තිබෙන බවත් මේ නිසා ඒ තැන් උෂ්ණත්වය ඉතා අඩුබවත් සඳහන් වේ.


මරියානා ආගාධයෙහි පතුලේ තවත් යම් විශේෂත්ව දැක ගැනීමට හැකිය. සාමාන්‍ය සාගර පතුලකට වඩා වෙනස්කම් කිහිපයක් දැකිය හැකි මෙහි වර්ණයහි හා ස්වභාවයෙහි වෙනස්කම් කීපයකින්ම ඇත. මෙහි පතුලෙහි වැලි පවතින්නේ ඉතා අඩුවෙන් ය. ඒ වාගේම පතුල පවුඩර් ස්වභාවයක් ගනී. අනෙක් වෙනස්කම නම් පතුල කහ පැහැයක් ගෙන තිබීම යි. මරියානාව යනු සාගර ජීවීන්ගේ හා ශාකවල සොහොන් බිමක් වැනි ස්ථානයකි. මියයන සාගර ජීවීන් හා ශාක විශාල වශයෙන් මේ පතුල තුල සැඟව ගොස් අවසානයේ එහි දිරාපත් වීම මේ කහ පැහැයට සහ පවුඩර් ස්වභාවයක් ගැනීමට හේතු වී ඇත.

මරියානාව සාගර ජීවීන්ගේ හා ජලජ ශාකවල පමණක් නොව නෞකා සහ අහස් යානා වලද සුසාන භූමියක් ලෙසද නම් කිරීමට හැකිය. මරියානාව තුළ සැඟව ගොස් ඇති නෞකා කොපමණද කියාවත් තවම ගණනය කරගෙන නොමැත.දෙවන ලෝක යුද්ධ සමයේදී පමණක් නෞකා 150 කට වැඩි ප්‍රමාණයක් මරියානා පතුල සිපගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.


1996 දී මරියානා සීමාවේදී අඩි 18900ක් ගැඹුරේදී ‘ss Rio Grande’ නම් නෞකාව ගවේෂණය කරන ලදී. ගිනස් වර්තා පොතට ඇතුළත් වීමට තරම් එය එවක ප්‍රබල වී තිබෙනවා.අහස් යානාද 100 කට වැඩි සංඛ්‍යාවක් මේ පතුලෙහි සැඟව ගොස් ඇත. දෙවන ලෝක යුද්ධයේ දී මරියානාවට ඉහළ අහසෙයි ජපානය හා ඇමරිකානු හමුදා ගැටුමේදී දෙපාර්ශවයේම ගුවන් යානා 117ක් හා හමුදාබට පිරිස් විශාල සංඛ්‍යාවකගේ අවසානය මරියානාවේ ආගාධයෙහි සැඟව ගොස් ඇත.එය ‘Great Mariana Battle’ ලෙසද ඉතිහාස ගත වී ඇත.


මෙයින් මරියානා ආධාගය පිළිබඳ තොරතුරු ගෙන එන දෙවන ලිපිය අවසන් වේ. අනෙක් ලිපියෙන් මේ විශ්මිත ආගාධයෙහි ජීවත් වන්නා වූ අපූරු වූත් ත්‍රාස්‍යජනක වූත් සතුන් හා ශාකයන් පිළිබඳ තොරතුරු ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.

Leave a Reply