2027 දී සංචාරකයින්ට විවෘතවන අභ්‍යවකාශ හෝටලය ‘වෝයේජර් ස්ටේෂන්’

 97 Total views,  4 Views today

ඔබ වඩාත් සංචාරය කිරීමට කැමති ස්ථාන මේ ලෝකයෙහි කෙතරම් තිබේ ද ? එසේ ඇසුවහොත් ඔබට විවිධ රටවල විවිධ ස්ථාන මතකයට නැගෙනු ඇත.නමුත් අභ්‍යවකාශයක ඉඳි වූ සුඛෝපබෝගී හෝටලයක් තුළ සංචාරය කිරීමට අවස්ථාව උදාවුවහොත් එය ඔබ තුල කොතරම් විශ්මයජනක හැඟීමක් ඇති කරනු ඇද්ද යන්න සිතා ගැනීමටවත් හැකිද? 2027 දී එම සිහිනයද සැබෑවනු ඇත.

‘වෝයේජර් ස්ටේෂන්’(Voyager Station) යන නමින් හැඳින්වෙන්නේ මෙම අභ්‍යවකාශයේ ඉදිවන නවතම හෝටලය ය. එය අභ්‍යවකාශය ජයගැනීමේ තවත් එක ඉදිරි පියවරකි. වෝයේජර් ස්ටේෂන් ඉදි කරනු ලබන්නේ Orbital Assembly Corporation නමැති ආයතනයක් විසින් වන අතර 2025 වසරේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. සංචාරකයින්ට විවෘත කරනු ලබන්නේ නම්  2027 දී ය.

Orbital Assembly Corporation ආයතනය පවසන්නේ මෙහි මූලික රාමුව රොබෝවරුන් යොදා ගනිමින් ඉදි කිරීමට බලාපොරොත්තු වන බවය. විශේෂත්වයනම් මෙහි මූලික රාමුව පෘථිවියේ ඉඳි නොකර අභ්‍යවකාශයේ දීම ඉඳි කිරීමට බලාපොරොත්තු වීමයි. මේ සඳහා වැයවන මුදල කොපමණ ද යන්න තවම ගණන් බලා නැති අතර සම්පූණයෙන්ම ඉඳි කිරීම අවසන් වුවහොත් එය අභ්‍යවකාශයේ ඉඳි කරන ලද විශාලම මධ්‍යස්ථානය බවට පත්වේ.

විශාල මුදුවක් ලෙස නැතිනම් වෘත්තයක් ආකාරයට ඉඳිකිරීමට සැලසුම් කරන මෙම හෝටලය සංචාරකයින් 400කට ලැගුම්ගත හැකිවන පරිදි  වෘත්තයෙන් පිටත එකිනෙකට වෙන්වූ කුටීර 24ක් නිර්මාණය කෙරේ. මෙහි එක් කුටීරයක් මීටර් 20 දිගින් ද, මීටර් 12ක් පළලින් ද යුක්ත වේ. තවද සුඛෝපභෝගී මගී නවෞකාවක ලබාදෙන සියලු පහසුකම් මෙයට ඇතුළත් වේ. මේ තුළ සිනමාශාලා, ක්‍රීඩාගාර,අවන්හල්, ස්පා, ශාරීරික අභ්‍යාස මධ්‍යස්ථාන ආදී සියළු පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති අතර එහිදී ක්‍රීඩා කිරීම ද වෙනස්ම අද්දැකීමක් ලබා දෙන්නා වූ අංගයක් වන බවද කිව යුතුය. මන්දයත් හෝටලය තුළ තිබෙන ගුරුත්වාකර්ශණයේ අඩු බව නිසා ය.

වෝයේජර් ස්ටේෂන් හට පෘථිවිය වටා එක්වරක් ගමන් කිරීමට ගතවන්නේ  විනාඩි අනූවක් පමණ කෙටි කාලයකි. නමුත් මෙහි දී කවුළු තුළින් දකින විශ්වයේ දර්ශණ කොතරම් ආකර්ශණීය වේවිද යන්න ඔබට සිතාගත හැකිද? එය පෘථිවියේ කිසිම තැනකින් දක්නට නොහැකි තරම් විශ්මයජනක අද්දැකීමක් වන බව නම් කිව යුතු ය.

සංචාරකයන් හෝටලය වෙත රැගෙන යාම සඳහා යානා නිපදවීමේ ව්‍යාපෘති ‘බ්ලූ ඔරිජින්’ (Blue Origin) සහ ‘වර්ජින් ගැලැක්ටික්’ (Virgin Galactic) යන ඇමරිකානු සමාගම් කීපයක් සිදු කිරීමට බැඳී සිටින අතර හෝටලය තුළ දිනක් ගත කිරීමට ඇ.ඩො. 35,000 ක් එනම් ලංකා මුදලින් රුපියල් ලක්ෂ 70 ක් පමණ ද, සමස්ථ චාරිකාව වෙනුවෙන් ඇ.ඩො. මිලියන 50 ක් , ලංකා රුපියල් බිලියන 10 ක් පමණ අය කරනු ඇති බව සඳහන් වේ.

බොහෝ සංචාරය කිරීමට කැමති පිරිස් සඳහා මෙම  අභ්‍යවකාශ සංචාරය සිහිනයක් පමණක් වුවත්,ඉතා ධනවත් පිරිස් මෙම අද්දැකීම ලබා ගැනීම සඳහා සැදී පැහැදී සිටින බවද කිව යුතුය. මීට අමතරව අභ්‍යවකාශ පර්‍යේෂණ කිරීමට විවිධ සමාගම්වලට මෙහි කුටි කුලියට දීමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන බව ද වැඩි දුරටත් සඳහන් වේ.


 

Leave a Reply