ලෝක සිතියමේවත් සඳහන් කර නොමැති පෘථිවියේ තිබෙන පාවෙන දූපත

 2,307 Total views,  3 Views today

          ප්‍රමාණයෙන් ඉන්දියාවෙ වර්ගඵලයෙන් බාගයක් තරම් විතර විශාල වූත්, නමුත් කිසිම ලෝක සිතියමක නැති ඔබට කිසිසේත් සිතාගත නොහැකි පාවෙන දූපතක් අපේ පෘථිවියේ තිබේ. මෙහි විස්තර දැක්වෙන්නේ ඒ අපූරු දූපත ගැනය.නමුත් ඔබ දුටු මුල් ඡායාරූපය තරම් මෙය අලංකාර දූපතක් නම් නොවෙයි.

 

ඇත්තෙන්ම පාවෙන දූපතක් කිව්වට මෙය අහසෙ පාවෙන දූපතක් ලෙස වරදවා වටහා නොගන්න. මේක මුහුදෙ පාවෙන දූපතක්. නිවැරදිවම කිවහොත් මෙය ස්වභාවධර්මයා විසින් දායාද කරුණු දූපතක් නොවන අතර මිනිස් ක්‍රියාකාරකම් නිසා බිහි වූ කෘත්‍රිම දූපතක් වේ. මේ දූපත නිර්මාණය කරන්න ලාංකිකයනුත් ගොඩක් දායක වෙලා තියෙනවා. ඒ පිළිබඳ අප ආඩම්බර විය යුතුද නැතිනම් දුක් විය යුතුද යන්න ඔබ ලිපිය අවසානයේ තීරණය කරන්න. ඒත් ඇයි ඒ දූපත ගැන කවුරුත් නොදන්නෙ? ඇයි මෙච්චර විශාල දූපතක් ලෝක සිතියමේ නැත්තෙ? එයට හේතුව මේක පාවෙන කසළ දූපතක් වීමයි.

ලෝකෙ විවිධ රටවල් වලින් මුහුදට බැහැර කරන ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය දියවැල් දිගේ ඇවිත් සාගරයේ තැන් තැන් වල දූපත් ලෙස ගොඩගැසේ. අද අපි කතා කරන්න යන්නෙ එහෙම හැදුන විශාලම කසළ දූපත ගැන.

මේ තමයි The Great Pacific Garbage Patch.මේක තියෙන්නෙ පැසිෆික් සාගරයෙ ඇමරිකාවෙ කැලිෆෝනියාවට බටහිරින්. ඔය සිතියමේ පෙන්වල තියෙන තැන් වල තමයි මේ දූපත පිහිටන්නේ.

වසරෙ විවිධ කාලයන් වලදි මුළු පෘථිවිය පුරාම සාගර වල උෂ්ණත්වය නිසි පරිදි නියාමනය කරන්න සොබාදහම උපයෝගී කරගත්ත හරි අපූරු ක්‍රියාවලියක් තමයි දියවැල් කියන්නෙ. ඉතින් ඒ දියවැල් දිගේ ලෝකෙ වටේම ඉඳලා කුණු අරගෙන එනවා. ඒ දියවැල් කිහිපයක්ම එකට එකතු වෙන තැනක් ලෙස මේ දූපත තිබෙන ඇමරිකාවට බටහිරින් පිහිටි ප්‍රදේශය හඳුන්වන්න පුළුවන්.

පහල රූපයේ  රතු පාට ඊතල වලින් පෙන්නන්නෙ ඒ  දියවැල් ය.  මේ එකතැන කැරකෙන දියවැල් Gyre (ජයර්) දියවැල් ලෙස හඳුන්වනු ලබයි. ලෝකෙ සමහර තැන් වල මේ ජාතියෙ එකතැන කැරකෙන දියවැල් ඇතිවෙනවා. මේ ජයර් දියවැල් ඇතිවෙන්නෙ කොරියෝලිස් ආචරණය (Coriolis Effect) නිසා ය.

පෘථිවිය භ්‍රමණය වන විට පෘථිවියේ මතුපිට පෘෂ්ඨයේ හැම තැනක්ම විශාල වේගයකින් ගමන් කරයි. සමකය මත පිහිටි ලක්ෂ්‍යයක් නම් තත්පරයට මීටර් 463ක විතර වේගයකින්,ඒ කියන්නෙ පැයට කිලෝමීටර් 1667ක විතර දැවැන්ත වේගයකින් ගමන් කරයි. අපිට නොදැනුනාට සමකය අසලම පිහිටි අපේ රටත් ඊට කිට්ටු වේගයකින් නොනැවතී ගමන් කරනවා. ඉතින් මේ අධික වේගයෙන් ගමන් කරද්දි පෘථිවියේ සාගර මත බල ඇතිවෙනවා (හරියට අපි වතුර බේසමක් වේගයෙන් චලනය කරොත් වතුර මත බලයක් ඇතිවෙලා වතුර ටික බේසමේ එක පැත්තකට එකතු වෙනවා වගේ). ඉහත සදහන් කළ ආකාරයට සාගර මත බල ඇතිවෙන සංසිද්ධියට තමයි කොරියෝලිස් ආචරණය නැත්තං Coriolis Effect කියන්නෙ.

මේ සංසිද්ධිය නිසා තමයි අර කලින් කියපු ජයර් දියවැල් ඇතිවෙන්නෙ. දියවැල් කිහිපයක් ලෝකෙ වටෙන්ම අරන් එන කුණු ඔක්කොම එක තැනකට ගොඩ ගහලා දූපතක් හැටියට පවත්වගෙන යන්නෙ මේ ජයර් දියවැල් ය. වසරෙ එක එක කාලයන් වලදි මේ දියවැල් ගමන් කරන හැටි වෙනස් වෙන නිසා තමයි මේ කසළ දූපතට එක නිශ්චිත පිහිටීමක් නැතුව කාලෙකදි ටිකක් විතර හවායි පැත්තට බරවෙන්නෙත් ඉතුරු කාලෙදි ඇමරිකාව පැත්තට බරවෙන්නෙත්.

 

මේකෙ විශාලත්වය වර්ගකිලෝමීටර් මිලියන 1.7ක් ලෙස දැනට සඳහන් කරන්න පුළුවන්. අපේ ලංකාවෙ වර්ගඵලය යන්තම් වර්ගකිලෝමීටර් 65610යි. ඒ කියන්නෙ ලංකාව එක්ක සැසඳුවොත් මේක දළ වශයෙන් ලංකාව වගේ 24 ගුණයක් විතර විශාල දූපතක්. තවත් පැහැදිලිව කිව්වොත් මේ කසල දූපත් ප්‍රංශය, ජර්මනිය හා ස්පාඤ්ඤය කියන රටවල් තුනේම වර්ගඵලයේ එකතුව තරම් ලොකුයි. ඒ කියන්නෙ ඉන්දියාවෙන් බාගයක් තරම් ලොකුයි. ඉතින් මෙච්චර විශාල කසල දූපතක් හඳන්න ලාංකිකයො දායක වුණේ කොහොමද යන්න ගැන ඔබට ප්‍රශ්නයක් පැන නඟිනවා ඇති.

ලංකාව බොහොම පුංචි රටක් තමයි. හැබැයි පරිසර විනාශය අතින් අපේ වැඩ නම් එච්චර පුංචි නෑ කියලා ඔබට මේ ලිපිය කියවීමෙන් වැටහේවි. ඒ අතින් අපි ලෝකෙම හොලවගෙනයි ඉන්නෙ. නවතම statista වාර්තා වලට අනුව ලෝකෙ 5 වෙනියට වැඩිම ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයට බැහැර කරන රට තමයි ශ්‍රී ලංකාව.

අපේ රට අවුරුද්දකට සාගරයට බැහැර කරන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 1.6ක්. ඒ කියන්නෙ කිලෝග්‍රෑම් 1,600,000,000ක්. ගාන කියවගන්නත් අමාරුයි නේද? ලෝකෙ වැඩිපුරම මුහුදට කුණු බැහැර කරන්නෙ චීනය. ඒ වසරකට මෙට්‍රික් ටොන් මිලියන 8.8ක්. හැබැයි ඉතින් එහෙම බැලුවට අපි හොඳයි කියල හිතන්න නම් අපිට කිසිසේත් හැකියාවක් නොමැත . මන්දයත් චීනයේ ජනගහනය බිලියන 1.38ක් (2016 සංගණන වාර්තා). එහෙම බැලුවම චීනයේ එක මනුස්සයෙක් වාර්ශිකව සාගරයට බැහැර කරන කසළ ප්‍රමාණය ග්‍රෑම් 6ක් පමණයි.

අපේ ජනගහනය මිලියන 21.2ක් (2016 සංගණන වාර්තා). එතකොට එක ශ්‍රී ලාංකිකයෙක් වසරකට සාගරයට බැහැර කරන කසළ ප්‍රමාණය ග්‍රෑම් 75.4ක්. අපෝ පොඩි ගාණයිනෙ. පොඩියට පෙනුනට අපෙන් එක්කෙනෙක් චීන්නු 12ක් 13කගෙ තරම් කුණු ප්‍රමාණයක් මුහුදට බැහැර කරනවා. ඒක පුද්ගල සාගරයට කසළ බැහැර කිරීම අතින් අපි තමයි ලෝකෙ අංක එකේ පරිසර දූෂකයා වෙච්ච චීනයත් පරද්දල ලෝකෙ ඉහළින්ම වැජඹෙන්නෙ. ඉතින් වතුර බිංදුව බිංදුව එකතු වෙලා මහා විශාල ජලාශ හැදෙනව වගේ අපේ ග්‍රෑම් 75 ගානෙ එකතු වෙලා මේ වෙනකොටත් අති දැවැන්ත පරිසර හානියක් සිද්ධවෙලා ඉවරයි.

පහල රූප වල තියෙන්නෙ ලෝකෙ විශාලම කසළ දූපත් 5 තියෙන තැන්. අපිට යටිනුත් එකක් තිබෙන බව ඔබට පෙනෙනවා ඇති. ඊතළ වලින් කියවෙන්නෙ ඒවා පිහිටි පෘථිවි අර්ධගෝලය අනුව භ්‍රමණය වෙන දිශාවන්. මේවා වලින් සාගර ජීවීන්ට වෙන හානිය ගැන අමුතුවෙන් කියන්න ඕන නැතිවෙයි කියා සිතමි.

අපි කතා කරන Great Pacific Garbage Patch දූපතේ බර මෙට්‍රික් ටොන් 80,000ක් විතර. මේකෙ තියෙනවා ප්ලාස්ටික් කැබලි ට්‍රිලියන 1.8ක්. ඒ කියන්නෙ 1,800,000,000,000ක්. බිංදුම 11ක් තියෙනවා. පුදුමයි නේද? එය average එකක් ලෙස ගත්තම කුණු දාපු නොදාපු ලෝකෙ හැම එක මනුස්සයෙක්ගෙම ගිණුමට කැබලි 250ක් බැගින් බැර වෙන තරමටම කුණු එකතුවී ඇත.

 

ස්වභාවිකව සෑදෙන අපද්‍රව්‍ය ස්වභාව ධර්මය විසින් ම ඉක්මණින්ම දිරාපත් කරීමට කටයුතු කරත් . මිනිසා විසින් කෘතීමව සාදන ලද අපද්‍රව්‍යය නම් එලෙස සිතන තරම් ඉක්මණින් දිරාපත් නොවේ.තුනී පොලිතීන් බෑග් දිරාපත් වෙන්න වසර 10 – 20 යයි.Lunch sheets ඇතුළු අනෙක් පොලිතීන් දිරාපත් වෙන්න වසර 20 – 30 පමණ කාලයක්  ගතවෙයි.ඇලුමිනියම් කෑන් වලට වසර 80 – 200.බීම බට වසර 200.ප්ලාස්ටික් බෝතල් වසර 450.ප්ලාස්ටික් මූඩි වසර 450 – 1000.වීදුරු බෝතල් දළ වශයෙන් වසර මිලියනයක් ගතවෙයි.

ප්ලාස්ටික් නිර්මාණය කෙරුනෙ 1907දි ය(Wikipedia). එයට අනුව ලෝකෙ හදපු පළමු ප්ලාස්ටික් බෝතලයත් තවම ස්වභාවිකව දිරාපත් වෙලා නැහැ කියලා නිගමනය කිරීමට හැකියාව ඇත.ඒක දිරාපත් වෙන්නෙත් වර්ෂ 2357දි. අප පරිසරයට කළ විනාශය කෙතරම්ද යන්න හිතා ගත හැකිද?

මේ විනාශය බලන් ඉන්න බැරි නිසා මේ සාගර දූෂණය නතර කරන්න අපි තරම් ආත්මාර්ථකාමී නොවන සමහර රටවල් වල මිනිස්සු එකතු වෙලා විවිධ දේවල් අත්හදා බලමින් සිටී. ඉන් එකක් තමයි නෙදර්ලන්ත ජාතික Boyan Slat ඇතුළු පිරිස සිදුකරන ව්‍යාපෘතිය. ඔවුන් අනුමාන කරන්නෙ ඔවුන්ට වසර 10කින් මේ කසළ ප්‍රමාණය 50%ක් දක්වා අඩු කරන්න හැකිවේවි කියායි. මේ එක ව්‍යාපෘතියක් විතරයි. එකක් දෙකක් නෙමෙයි මේ වගේ ව්‍යාපෘති තව විශාල ප්‍රමාණයක් තිබේ. පාරවල් වලට තාර වෙනුවට ප්ලාස්ටික් අතුරන ක්‍රමවේදයත් ඉන් එකකි. නමුත් තාම ඒය තිබෙන්නේ පරීක්ෂණ මට්ටමේ ය.  මේ ව්‍යාපෘති සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් තවදුරටත් මේ විනාශයේ කොටස්කරුවෙක් නොවී පරිසරයට බැහැර කරන ප්ලාස්ටික් ප්‍රමාණය හැකි පමණින් අවම කරන්න ඔබත් මේ මොහොතේ සිට වත් හිතාගන්නව නම් ඒක අනාගත පරපුර වෙනුවෙන් ඔබට ඉටුකරන්න පුළුවන් ලොකුම යුතුකමකි.

 

 

මූලාශ්‍ර – The Third Eye (රෙහාන් මෙන්ඩිස්)



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.