නිරයේ ද්වාර හතෙන් එකක් ලෙස සැලකෙන බ්‍ර්මියුඩා ත්‍රිකෝණයට බෙහෙවින් සමාන – “යක්ෂයාගේ ත්‍රිකෝණය”

 2,629 Total views,  8 Views today

ජපන් නාවිකයන් යාත්‍රා කිරීමට අකමැති මෙම මුහුදු කලාපය ඔවුහු “Ma no Umi” හෙවත් යක්ෂයාගේ මුහුද ලෙස හඳුන්වති. පැසිපික් සාගරයේ පිහිටා ඇති හෙයින් “පැසිපික් සාගරයේ බර්මියුඩා ත්‍රිකෝණය” යන අන්වර්ත නාමයෙන්ද මෙම ප්‍රදේශය හඳුන්වයි. එයට හේතුව ලෝක ප්‍රකට බර්මියුඩා ත්‍රිකෝණය තුළ යම් යම් ගුප්ත දේ සිදුවේද ඒ හා සමානම දේ පැසිපික් සාගරයේ මේ කියන ප්‍රදේශය තුළත් සිදුවීමය. සමහරුන් මේ ප්‍රදේශය හඳුන්වා දෙන්නේ නිරයට පිවිසෙන්නට තිබෙන ද්වාර හතෙන් එකක් හැටියටයි. එසේ නම් කර තිබීමෙන්ම කියන මුහුදු පෙදෙස කෙතරම් ගුප්තද? කෙතරම් භායනකද? යන්න මනාව වටහා ගත හැකිය.

 

යක්ෂයාගේ මුහුදේදී එහෙමත් නැත්නම් මකරාගේ ත්‍රිකෝණයේදී සිදු වූ හා දැනටමත් සිදුවෙමින් පවතින බොහෝ භයානක හා අද්භූත සිදුවීම් බොහෝ වෙති. නමුත් එය සඳහන් කිරීමට පළමුව එය තිබෙන්නේ කොහේදැයි කියා දළ වශයෙන්වත් දැනගැනීම වටී. නූතන විද්‍යාවටවත් විස්තර කරන්නට බැරි විධියේ ගුප්ත දේවල් සිදුවන මේ මුහුදු කලාපය තිබෙන්නේ ටෝකියෝ අගනුවර සිට කිලෝමීටර 100 ක් පමණ දුරකින් පිහිටි මියාකී දිවයින (Miyake Island)  වටා පිහිටි මුහුදු ප්‍රදේශයේ බව භූගෝලීය වශයෙන් නම් කර ඇත. ඒ වගේම ජපානයේ තෝකියෝ නුවර සිට කිලෝමීටර 100ක් පමණ දකුණට වන්නටයැයි කියා කිවහොත් තවත් නිවැරදිය. එසේ ප්‍රකාශ කරනවා විනා යක්ෂයාගේ ත්‍රිකෝණය හරියටම තිබෙන්නේ මෙතැන යැයි කියා කියන්නට කිසිකෙනෙකුට තවමත් හැකියාවක් නොමැත. ඇතැම් තැනෙක සඳහන් වන අන්දමට මකරාගේ ත්‍රිකෝණය පිහිටා තිබෙන්නේ ජපානයේ නැගෙනහිර වෙරළ තීරයේ සිට කිලෝමීටර 110ක් තරම් දුරින් වූ මුහුදෙහිය. තවත් වාර්තාක් පෙන්වා දෙන්නේ ජපානයට අයත් ඉවෝ ජිමා නැමැති දූපතේ සිට කිලෝමීටර 1200ක් ඈතින් මකරාගේ ත්‍රිකෝණය පිහිටා ඇති බවකි. තියෙන තැන කියන්නට හැකියාවක් නොමැති සේම මකරාගේ ත්‍රිකෝණයේ වපසරිය කොතරම්ද යන්න ගැන හරිහැටි සඳහන් කරන්නටත් කිසිවකුට හැකි වී නැත. මේ ප්‍රදේශයට යටත් වපසරිය, එක්දහස් නවසිය පනස් ගණන්වල සිට ප්‍රකාශයට පත්කෙරුණු වාර්තාවල දැක්වෙන්නේ විවිධ ආකාරයෙනි. මේ කුමන වාර්තාවක් නිවරදි වුවත් අප පිළිගත යුතු එක් කාරණයක් තිබේ. එනම් පැසිපික් සාගරයේ, ජපානයට යටත් මුහුදු සීමාවෙහි කිසියම් තැනෙක මකරාගේ ත්‍රිකෝණය ස්ථානගතව පවතින බවය.

   මකර ත්‍රිකෝණයේ පිහිටීම හරියටම බර්මියුඩා ත්‍රිකෝණයට ප්‍රතිවිරුද්ධව පිහිටා ඇති අතර ඒ හා සමානව නාවික සහ ගුවන් අනතුරු ද වාර්තා වන ප්‍රදේශයකි. එමෙන්ම ක්ෂණිකව ඇතිවන දරුණූ කාලගුණික වෙනස්විම්, අනපේක්ෂිත මිහිදුම් ආවරණ, උදම් රළ සහ කුණාටු ද බහුල ප්‍රදේශයකි.

        මකර ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශයේ සිදුවූ අනතුරුවල ඉතිහාසය කුබ්ලායි ඛාන් රජ සමය තෙක් දිව යයි. මොංගෝලියානු අධිරාජ්‍යයේ පස්වන ඛාන් අධිරාජයා වූ කුබ්ලායි ඛාන් විසින් ජපානයට එරෙහිව සිදු කල ආක්‍රමණයන් දෙකම (ක්‍රි.ව 1274 දී සහ ක්‍රි.ව 1281 දී) අසාර්ථක වීමට හේතුව කාර්‍ය මණ්ඩල සාමාජිකයන් 40000 කින් සැදුම්ලත් ඔහුගේ නාවුක යාත්‍ර සියල්ලම මෙම මුහුදු කලාපයේදි දරුණු කුණාටුවකට අසුවී විනාශයට පත් වීම නිසා බව වාර්තාවල සඳහන් වේ.ඔවුන්ගේ ගමන් මඟ යටකී ත්‍රිකෝණය හරහා වැටී තිබී ඇත. අඩු තරමින් එකී නෞකා තුන්දහස් පන්සියයට සිදු වූයේ කුමක්ද යන්නවත් සොයා ගන්නට බැරිව ගිය බවක් සටහන්ව ඇත.එම නිසා ජපන් වැසියන් විසින් එම කුණාටුව සතුරන්ගෙන් තම රට ආරක්ෂා කිරීම සඳහා දෙවියන් විසින් එවන ලද්දක් බවට විශ්වාස කළහ. පසුකාලීනව මේ පිලිබඳව ගවේෂණය කළ පුරා විද්‍යාඥයන් හට මුහුදු පතුලේ තිබී මොංගෝලියානු නාවුක යාත්‍රාවල නටබුන් සොයාගන්නට ලැබිණි.

 

         මකරාගේ ත්‍රිකෝණයේ සිදුවුණු සිද්ධීන් පිළිබඳ හොඳ විවරණයක් කරන්නේ චාර්ල්ස් බර්ලිට්ස් (Charles Berlitz) නැමැති අමෙරිකානු ලේඛකයා විසිනි. හෙතෙම “The Dagon’s Triangle” නමින් කෘතියක් සම්පාදනය කරන්නේ මකරාගේ ත්‍රිකෝණය ආශ්‍රයෙන් සිදුවුණු බොහෝ දේ ගැන පර්යේෂණයක නියැලෙමිනි. කෘතියෙහි දැක්වෙන පරිදි 1952ත් 1954ත් අතර කාලයේදී යාත්‍රා පහක ගමන් ගත් හමුදා සාමාජිකයන් 700ක් මේ ත්‍රිකෝණයට අයත් පෙදෙසේදී අතුරුදහන්ව ගොස් ඇත. යාත්‍රා පහටත් භටයන් 700ටත් කුමක් සිදුවීද යන්න ගැන සොයා බලන්නට ජපාන රජය ඒ කාලයේදීම වාගේ තවත් යාත්‍රාවක් යවා තිබේ. යවන ලද ඒ යාත්‍රාවේ විද්‍යාඥයෝ සිය දෙනෙකු සිටි බව චාර්ල්ස් බර්ලිට්ස්ගේ සටහනේ ඇත.

           විද්‍යඥයන් සිය දෙනෙකු රැගෙන අභිරහස් ලෙස මුහුද පත්ලේ සඟව ගියේයැයි කියා චාර්ල්ස් බර්ලිට්ස් දක්වන නෞකාව, කයියෝ මාරු – 5 නෞකාව බව අමෙරිකා ලේඛක ලෝරන්ස් ඩේවිඩ් ලැරී කුෂේ පවසයි. කුෂේ කියන ආකාරයට නෞකාව ගිලී ඇත්තේ පුද්ගලයන් තිස් එක් දෙනෙකු රැගෙන නාවුක කටයුත්තක නියැලෙමින් සිටියදීය. සිද්ධිය සිදුව තිබෙන්නේ 1954 වසරේ සැප්තැම්බර් 24වැනිදා බවත් කුෂේ සඳහන් කරයි. කොහොම වුණත් යාත්‍රාව අතුරුදහන් වීමෙන් පරීක්ෂණ කටයුතු අඩාල වූ බව නම් අසත්‍යක් නොවේ. කයියෝ මාරු – පහ යාත්‍රාව අතුරුදහන්ව යාමත් සමඟම මකරාගේ ත්‍රිකෝණය වෙත ජපාන බළධාරීන්ගේ විශේෂ අවධානයක් යොමු වුණු බවක් පෙනෙන්ට තිබේ.

       මකරාගේ ත්‍රිකෝණය ආශ්‍රයෙන් ක්‍රියාත්මක වන අද්භූත තත්ත්වය සැලකිල්ලට ගෙන එකී මුහුදු කලාපය අන්තරාදායක පෙදෙසක් ලෙස නම් කරන්නට ජපාන බළධාරීහු පසුව පියවර ගත්හ. නමුත්, ප්‍රදේශය ආශ්‍රිතව සිදුවන අද්භූත සිද්ධි එතැනින් කෙළවර වුයේ නම් නැත.

      ඒ වගේම චාර්ල්ස් බර්ලිට්ස්ගේ කෘතියෙහි දැක්වෙන අන්දමට කුඩා ප්‍රමාණයේ ධීවර යාත්‍රා, ටොන් ලක්ෂ දෙකක් තරම් බරැති ටැංකි සහිත යාත්‍රා, අමෙරිකා සහ ජපාන යුධ නවුකා සහ ගුවන් යානා, සෝවියට් නෂ්ටික මිසයිල සබ්මැරීන ආදිය පවා මකරාගේ ත්‍රිකෝණයේදී අනතුරට පත්වී ඇත. නැත්නම් අතුරුදහන් වී ඇත.

 

     ඒ වගේම බර්මියුඩා ත්‍රිකෝණය සේම මෙම ත්‍රිකෝණය ආසන්නයෙන් ගමන් ගන්නා මුහුදු යාත්‍රාවල සන්නිවේදන උපකරණ ක්‍රියාත්මක නොවන අවස්ථා ඇති බවට ඇතැම් නැවියන් පැමිණිලි කර තිබේ. ප්‍රදේශය ඇසුරෙහි චුම්බක ක්ෂේත්‍රවල අසාමාන්‍යතා දකින්නට පුළුවන් බවට පැමිණිලි කරන නැවියන්ද එමටය. තවත් සමහර අවස්ථාවලදී ප්‍රදේශය තුළ දීප්තිමත් එළි විහිදෙන බව මුහුදේ යන එන අය දැක ඇත. මකරාගේ ත්‍රිකෝණය ලෙස නම් කර ඇති මුහුදු කොටසේ විවිධ වස්තූන් පාවෙමින් තිබෙනු දුටු අය ගැනත් වාර්තා වේ. විවිධ වස්තූන් එහි පාවෙමින් තිබෙනු දුටු අය ගැන දොළොස් වැනි සියවසේ සිටම වාර්තා තිබෙන බව චාර්ල්ස් බර්ලිට්ස් සිය කෘතියෙන් පෙන්වා දෙයි.

      ජන විශ්වාසයන්ට අනුව නම් මෙම කලාපයේ රළට යටින් බලගතු සත්වයෙක් මුහුද යට පිහිටි විශාල මාලිගයක් තුළ වාසය කරන බව කියැවේ. ලී ලුන්ග් (Li Lung) හෙවත් බටහිර මුහුදු මකර රජු නමින් හඳුන්වන මෙම සත්වයායේ මාලිගය අල්ලාගත් නැව්වලින් සරසා ඇති බව ජනප්‍රවාදයේ සඳහන්වේ.

    මකරාගේ ත්‍රිකෝණයට යටත් පෙදෙසේ කාලගුණ තත්ත්වය අසුරු සැණෙකින් වෙනස්වන්නේ එහි ගුප්ත බව තවත් වැඩි කරමිනි. හිටි අඩියේම වාගේ මේ මුහුදු කලාපයේ රළ ඉහළ නඟින අවස්ථා ද ,දිය සුළි, ඉතා ඝන මීදුම් සහිත තත්ත්ව වගේම කුණාටුත් ඇසුරු සැණෙකින් ඇතිවන බව ඇතැම්හු පවසති. වෙනත් අද්භූත දෙයක් සිදු නොවුණත් මේ කියන විධියේ හදිසි කාලගුණ වෙනස්වීම් වුව ත්‍රිකෝණය ආසන්නයෙන් ගමන් ගන්නා යාත්‍රාවලට අනතුරු ඇති කරන්නට හේතුවන බව නම් හොදින්ම වැටහේ. හදිසියේ ඇතිවන කාලගුණ තත්ත්ව නෞකාවලට අනතුරු ඇති කරන්නට හේතුවක් නම් එවැනි කාලගුණ විපර්යාස හදිසියේ ඇතිවන්නේ ඇයි? කෙසේද? කුමන වෙලාවලටද? හරියටම කොතැනද? යන ප්‍රශ්නවලට පිළිතුරු තිබිය යුතුය. ඇත්තටම කිවහොත් එවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍රවල විද්‍යාඥයන් අදටත් මුනිවත රකී. විද්‍යාව මෙපමණටම දියුණු යුගයක මකරාගේ ත්‍රිකෝණය සම්බන්ධයෙන් එවැනි නිහඬතාවක් බලාපොරොත්තු වන්නට ද නොහැකිය.

     මේ අන්දමට අතුරුදන් වුණු මුහුදු යාත්‍රා ගණන අතිවිශාලය. ඇතැම් ඒවා විනාශයට පත් වූ බව සනාත කරන්නට පුළුවන් තරමේ සලකුණක්වත් නොතබා අතුරුදහන්ව ඇත.

      ඇතැම් විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ මකරාගේ ත්‍රිකෝණය තිබෙන ප්‍රදේශයේ මුහුද පතුළත මීතේන් හයිඩ්‍රේට් සහිත සරියක් පවතින බවය. රසායනිකයෙන් ඇතිවන වායුවක් මුහුද මතුපිට ප්‍රදේශවලට ළඟා වන බව කියැවේ. එහෙම මතුවන වායුව මුහුද මතුපිටට වේගයෙන් විහිදී, මුහුද මතුපිට ගමන් ගනිමින් ඇති නෞකා ගිල්වා දමන බව මේ මතයෙන් විදහා දැක්වේ. එවැනි අවස්ථාවලදී මුහුදු යාත්‍රා සැණෙකින් ගිලී යන්නේ ඒවා ගිලී ගිය බවට කිසිදු සලකුණක්වත් නොතබමින් බවත් ප්‍රකාශ කර ඇත.

 

      යක්ෂයාගේ ත්‍රිකෝණය යනු මුහුද යට ගිනිකඳු සහ භූ කම්පන ක්‍රියාකාරකම් වල බලයන් යටතේ නිරන්තරයෙන් වෙනස් වන ප්‍රදේශයකි. ගිනිකඳු භූමි සැකසුම් හේතුවෙන් විටින් විට ඉහළ එන නව දූපත් මෙම ප්‍රදේශය තුළ මතුවන බව සඳහන් වේ.ඇතැම් පිරිස් අනුමාන කරන්නේ මෙකී ස්ථානය හරහා වෙනත් විශ්වයකට හෝ කළු කුහරයකට හෝ මඟක් ඇතැයි කියාය. නිරයට ඇති ද්වාර හත්තෙන් එකක් මකරාගේ ත්‍රිකෝණය හරහා වැටී තිබෙන බව සාමාන්‍යය ජනයා පවසන්නේ එකී අනුමානය පදනම් කරගෙනයි.

  මකර ත්‍රිකෝණයේ ගණන් කළ නොහැකි තරමේ ක්‍රියාකාරකම්වල වගකිව යුත්තෝ මකරුන් හෝ පිටසක්වල ජීවීන් බවට ද චෝදනා එල්ල වී තිබේ. ඇත්ත වශයෙන්ම, මෙම කලාපයේ පිටසක්වල ජීවීන්ගේ බලපෑමක් ඇති බවටද විස්වාස කෙරේ.

      කෙසේ වෙතත් මේ ප්‍රදේශය තුළ සිදුවන දෙය විද්‍යාත්මකව විස්තර කරන්නට මිනිසාට තවමත් නොහැකි වී ඇත. ඒ හිදැස නිසා පිළියමක් යොදන්නට නොහැකිවූත්, හරියාකාරව විස්තර කරන්නට බැරිවූත්, බොහෝ දේ මකරාගේ ත්‍රිකෝණය ආශ්‍රයෙන් අදටත් සිදුවෙමින් තිබේ.

      මෙම සිදුවීවලින් පසු ජපාන රජය විසින් මෙම මුහුදු කලාපය මුහුදු ගමන් සඳහා ඉතා අනතුරුදායක ප්‍රදේශයක් බවට නම් කරන ලද අතර, මෙම ප්‍රදේශයේ සිදු කල ගවේෂණයන්ද අත් හැර දමන ලදී.

     මකර ත්‍රිකෝණයේ අභිරහස පිලිබඳව විවිධ මත සහ පැහැදිලි කිරීම් ඉදිරිපත් වී ඇතත් තවමත් නිශ්චිත හේතුවක් සොයාගෙන නොමැත. එබැවින් මකර ත්‍රිකෝණයත් ලොව ඇති තවත් එක් නොවිසඳුණු අභිරහසකි.‎



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.