තවමත් අභිරහසක්ව පවතින ලංකාවේ පිහිටි “සක්වල චක්‍රය”

 4,248 Total views,  50 Views today

 

   ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ කතා කරන විට අනුරාධපුරයට හිමි වන්නේ විශේෂ හිමි වන්නේ විශේෂ ස්ථානයකි.ලක්බිමේ කලා නිර්මාණ රැසකටම උරුමකම් කියන පුරවරයක් ලෙස අපට අනුරාධපුර රාජධානිය හඳුන්වා දීමට පුළුවන.ඒ පෞරාණික වටිනාකමක් ඇති ස්ථාන අතරින් ඉසුරුමුණියත් , තිසා වැවත් අතර පිහිටි මෙරට උද්භිද උද්‍යාන කලාවේ ප්‍රතිමූර්තියක් සේ නැඟි හිඳින රන්මසු උයන පිළිබඳ කථා කළ යුතුමය.සිවුවැනි මිහිඳු රජුගේ වෙස්සගිරි සෙල්ලිපියට අනුව රන්මසු උයනෙහි, පොකුණුවල රන් මත්ස්‍යයන් සිටි හෙයින්,එය  රන් මසු උයන වූ බව කියැවේ.අතීතයේදී එය ඉතාම සශ්‍රීක උද්‍යානයක්ව පැවති බවට නටබුන් අදට ද දැක ගැනීමට හැකි වේ.ඊට අමතරව උද්‍යානයේ විශේෂම හා තවමත් විසඳා ගැනීමට නොහැකි වූ අබිරහසක්ව පවතින සක්වල චක්‍රය සුවිශේෂී වේ.

 

රන්මසු උයනෙහි අංක 34 නම් ලෙනෙහි ඇති ගලක කොටා තිබෙන විශ්කම්භය මීටර් එකයි දශම අටක් (1.8) පමණ ඇති සටහන “සක්වළ චක්‍රය” වශයෙන් හැඳින්වෙන්නකි. එහි මුහුණත පවතිනින්නේ භූමි මට්ටමේය. එහිම ඉදිරියෙහි තවත් ගල් තලයක ආසන හතරක සටහනක් ද පවතී. ඒ මේ චක්‍රය දෙස බලා සිටීමට තැනූ බව කිව හැකිය.

මෙම නිමැවුම් වූ පිළිබඳව ඇත්තේ කුතුහලය දනවන ප්‍රවෘත්තීන්‍ ය.මන්දයත් මේ පිළිබඳව නිවැරදිව සඳහන් කළ කිසිදු සටහනක් තවමත් හමුවී නොමැති නිසාය.නමුත් වර්තමානයේ දී මේ පිළිබඳව විවිධ මතයන් විද්වතුන් හා අධ්‍යයනය කරන්නන් විසින් ලබා දී ඇත.

මෙම වෘත්තාකාර නිර්මාණය වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ “Star Gate” නැතහොත් තරු දොරටුවක්‌ ලෙසය.ග්‍රහලෝක ග්‍රහලෝක අතර ඇසිල්ලකින් ගමන් කිරීම උදෙසා භාවිත කළ දොරටු යන්න මෙහි අදහසයි.විශ්වය යනු ඉමක්‌ කොනක්‌ සොයාගත නොහැක්‌කක් බැවින් විශ්වයේ ස්‌ථාන දෙකක්‌ අතර ගමන් කිරීමට ඇති ඉතා ඉක්‌මන් මාර්ග “Star Gate” ලෙස හඳුන්වනු ලබයි.

විශේෂයෙන්ම තාරකා දොරටු යෑයි සලකන්නා වූ ස්‌ථාන සහ සංකේත ලෝකයේ බොහෝ ශිෂ්ටාචාරයන්ගේ පුරා විද්‍යාත්මක උරුමයන් මත වැළලී ඇතැයි සලකමින් අතීතයේ විශ්වය පුරා සැරිසැරූ දොරටු ලෙස ලොව පුරා ස්‌ථාන අතළොස්‌සක්‌ ගවේෂකයන් විසින් හඳුන්වාදී ඇත.එම විශ්ව දොරටු ගොන්නට රන්මසු උයනේ “සක්වල චක්‍රය” ද එක්‌වීම මගින් මෙම ගෝලීය කතිකාව නව මානයක්‌ වෙත අප කැඳවාගෙන යනු ලබයි.

තාරකා දොරටු, සක්‌වල දොරටු (විශ්ව දොරටුව, විශ්ව ගල, සක්‌වල ගල) පිළිබඳව අධ්‍යනය කරනු ලබන ගවේශකයන් එවන් ස්‌ථාන කිහිපයක්‌ හඳුන්වා දී තිබේ.

1. මිසරයේ දෙන් දෙරාහි හැතෝර් දේවස්‌ථානයේ සිවිලිමක ඇති වක්‍රාකාර නිර්මාණය (ක්‍රි. ව. 50 ලෙස කාල නිර්ණය කර ඇත.)

 

 

2. බැබිලෝනියානු ශිෂ්ටාචාරයට අයත් දකුණු දිග ඉරාකයේ වසර 3500 පමණ පුරාණ සුමේරියානු දේවාලයක්‌ වන සිප්පාර් (Sippar) හි ඇති ලෝක සිතියම නම් මැටි පුවරුව.

 

 

3.ක්‍රි. ව. 400 – 650 අතර කාලයට ගත හැකි දකුණු පේරු රාජ්‍යයේ නැස්‌කා තැනිතලාවේ කිලෝ මීටර් 80 වටා පැතිරී ඇති සිතියම.

 

 

4. බ්‍රිතාන්‍යයේ Stonehenge (ස්‌ටෝන්හෙන්ඡ්)

 

5. ඉන්කා ශිෂ්ටාචාරයට අයත් ටිටිකකා විල අසල ඇති “අමාරු මුරු” නමින් හඳුන්වන ගල් පර්වතයක ඇති දොරටුවක්‌ බඳු කුහරය.

 

 

6. බොලිවියාවේ සූර්ය දොරටුව.

 

මේ අතරිනුත් මිසරයේ දෙන් දෙරාහි හැතෝර් දෙවස්‌ථානයේ සිවිලිමක ඇති වක්‍රාකාර නිර්මාණය මෙන්ම කුෆු, කාෆ්රා, මෙන්කාවුරු නම් පිරමීඩ් ත්‍රිත්වය ලංකාවේ රුවන්වැලි සෑය, මිරිසවැටිය හා ජේතවනය යන චෛත්‍ය තුනෙහි පිහිටීම සමානව පිහිටා ඇති බවට දැක්‌වෙන මතවාද මගින් මෙම ශිෂ්ටාචාර ද්විත්වයම විශ්වය සම`ග සම්බන්ඳව සිටි බවට ද මතවාද ගොඩනැඟී ඇත.

THE PYRAMIDS OF GIZA KHAFRE MENKAURE KHUFU

 

අනුරාධපුරයේ “සක්වළ චක්‍රය” හා සමාන වෙනත් රටවල පවත්නා ඒ හා සමාන ස්ථානද සංසන්දනය කර බැලූ කල, එමගින් ව්‍යාප්ත වූ මතය මේ “කැටයම” වෙනත් ග්‍රහ ලෝකවලට ප්‍රවිෂ්ට වීමේ දොරටුවක් විය හැකි බවය. එමෙන්ම මෙමගින් මානවයාට විශ්වයට ප්‍රවේශ වීමටද හැකියාව පවතී.එයට දොරටුව විවර කෙරෙන “කේතය” මේ කැටයම බව මෙය පෙන්වාදෙන්නවුන්ගේ මතයවේ.

ඊජිප්තුවේ පිහිටි “අබු ගුරාබ්වල” සහ පේරු රටේ “හායු මාර්කාවල” පවත්නා සංකේත අනුරාධපුරයේ “සක්වළ චක්‍රයට” බොහෝ සමාන බව වාර්ථා වේ.ඒ සමානකම් ද සාකච්ඡාවට බඳුන් විය . අපේ කැටයම පිහිටා ඇත්තේ ද ජලාශ්‍රිතවය. ඒ තිසාවැව සමීපයේය. ඉදිකර තිබන්නේ ද ක්‍රි.පූ. 300 දීය.

ග්‍රහලෝක ප්‍රවිශ්ට සිද්ධාන්තයට අනුව ඊජිප්තුවේ අබු ගුරාබ් ද, පේරු රටේ හායු මාර්කා ඉදිකරනු ලැබ ඇත්තේ ද ජලාශ්‍රිතවය.මක්නිසාද යත් වෙනත් ග්‍රහලෝකවල ජීවීන්ට පෘථිවි ජලයෙන් රන් සකසා ගතහැකි බව කියන ස්ටාර්ගේට් සිද්ධාන්තය හේතුකොට ගෙනය.

එච්. සී.පී. බෙල් මහතා මේ පිළිබඳ සඳහන් කර ඇත්තේ, විශ්වයේ චිත්‍රයක් ලෙස ය.මෙම නිර්මාණය ලෝක සිතියමක්‌ ලෙස එතුමා සඳහන් කරයි. මධ්‍යයේ ඇති චතුරස්‍රය ඇතුළත වෘත්ත හතක්‌ දක්‌නට ලැබෙයි. එමගින් සප්ත සාගරයද එම වෘත්ත හත මැද ඇති තිත මහාමේරු පර්වතය බවත් ඉර සහ හඳ දෙපසින්ද මත්සයින්, හක්‌ බෙල්ලන්, මුහුදු අශ්වයින්, ඉදිබුවන්, කකුළුවන් මගින් ජලජ ජීවීන්ගේ ලෝකය පිළිබඳ සඳහන් වන බවත් එතුමා පවසයි.මහාචාර්ය බණ්ඩාරනායකයන් ද බෙල් ගේ මතයේ ම පිහිටා සිටියි.

මෙය අධ්‍යනය කළ සේනක බණ්ඩාරනායකයන් ට අනුව මෙමගින් දක්වා තිබෙන්නේ පැරණි ලෝක සිතියමක් වේ.අතීතයේ පුරාණ ජනයා ලෝකය දැකපු හැටියට පෘථිවියේ සමතල දර්ශනයක් මෙහි කොටා තිබෙන බව ඔහුගේ අදහස වේ.සිතියම්කරණය පිළිබඳ සාක්ෂි අපට හමුවන්නේ දහනමවන ශත වර්ෂයේ සිටය.නමුත් අතීතයේ සිටම එයට ආභාෂයක් තිබෙන්නට ඇති බවද කිව හැකිය.එම නිසා අතීතයේ දී සිතියම්කරණය මෙලෙස ගලක තිබෙන්නට හැකි බව අපට සිතිය හැක.

රන්මසු උයනේ තිබෙන්නේ අනුරාධපුරයේ නගර නිර්මාණ සිතියමක් බව ද ඇතමුන් විශ්වාස කරයි.තිබෙන සංකේත අනුව එලෙස අනුමාන කිරීම ද යම්තාක් දුරට සත්‍ය වීමට හැකිය.එය සෙබළුන්ට පරිහරණය කිරීමට තිබූ බවටද මත පලවේ.

මාටින් වික්‍රමසිංහ සූරීන් මෙම චක්‍රය තාන්ත්‍රිකයන්ගේ යන්ත්‍රයක්‌ ලෙසට අදහස්‌ දක්වයි. මහාචාර්ය සෙනරත් දිසානායක සූරීන් මෙය කසිනාරම්මනයක් ලෙස යොදාගත් බව පවසයි.  ගැඹුරු භාවනාවකදී භාවිතා කිරීමට, මානසික ඒකාග්‍රතාවය උදාකර ගැනීම උදෙසා මේ නිර්මාණය කළ බව සලකනු ලබයි. සත්ත්ව හා ජ්‍යාමිතික රූප පනස්‌ තුනකින් යුතු මෙම දර්ශනය මගින් මනස එක්‌තැන් කිරීම අපේක්‍ෂා කර ඇත.පසුව සොයාගැණුනු පූර්ව බ්‍රාහ්මීය අක්‍ෂරයෙන් ලියා ඇති “පනති පනශ” යන සෙල්ලිපි පාඨය හඳුනාගත් දිසානායක සූරීන් පෙන්වා දෙන්නේ චක්‍රයේ පිටතම ඇති සත්ව රූප 20 ක්‌ වෘත්ත මාධ්‍යයේ ඇති සංකේත 33 ක්‌ එක්‌වන විට 53 වන බැවින් මෙම රූප සටහන් කිසියම් අවබෝධයකින් අවශ්‍යතාවක්‌ මත නිමවා ඇති බව ය.

 

මේ චක‍්‍රය ඉදිරිපිටට ගිහින් එම චක‍්‍රය කෙරෙහි සිත ඒකාග‍්‍ර කරගෙන භාවනා කරන්නට පටන් ගත්තාම එක් අවස්ථාවක ගල මත කොටා ඇති සක්වළ චක‍්‍රය විවෘත වෙලා අපට විශ්වය තුළට ගමන් කිරීමට මඟ පෑදෙන බව ද ඇතැමුන් ප්‍රකාශ කොට ඇත.

අතීතයේ සිටි සමහර භික්‍ෂූන් වහන්සේලා විශ්වය හරහා ගමන් කර එහෙමත් නැත්නම් අත්නරීක්‍ෂ ගවේෂණය සිදුකර විශ්වය පිළිබඳ දැනුම ලබා ගන්නේ මෙන්න මේ සක්වල චක‍්‍රය හරහා ගමන් කර බවට පිළිගැනීමක් පවතී.භාවනාව හොඳින් ප‍්‍රගුණ කළ රහතන් වහන්සේ කෙනකුට නම් මේ චක‍්‍රය නැතිව තමන්ම භාවනා කර හිත එකඟ කරගෙන විශ්වය හරහා ගිහින් එහි තිබෙන ශක්ති කදම්භ සම්පේ‍්‍රක්‍ෂණය කරන්නට පුළුවන් වේ.

මෙම වෘත්තාකාර නිර්මාණය තුළ ඇති සංකේත 52 පිළිබඳව සඳහන්ව ඇති පනති පනශ යන සෙල්ලිපි පාඨයේ අක්‌ෂර ක්‍රි.පූ. 3-1 අතරට අයත් ය.එනම් දේවානම් පියතිස්‌ස රාජ යුගය තෙක්‌ ඇදී යයි. එසේ නම් එම යුගය තුළ මෙම රන්මසු උයන මඟුල් උයනක්‌ ලෙස රාජකීයන් උදෙසා භාවිත කළ බැවින් ආධ්‍යාත්මික අරමුණක්‌ වෙනුවෙන් මෙම නිර්මාණය නිමැවූයේ යෑයි සිතීම දී යම් ගැටලුකාරී තත්වයක් උද්ගත වෙයි. එපමණක්‌ ද නොව එම කාලසීමාවේදී මහායානික දහමේ බලපෑමක්‌ ඇති නොවූ බැවින් මෙය මහායානිකයන්ගේ ක්‍රියාකාරකම් සඳහා භාවිත වූ ස්‌ථානයක්‌ ලෙස සැලකීම ද අසීරුය. නමුත් මහායාන යන්ත්‍ර අධ්‍යනය කරන විට මෙවැනි රූප සටහන් බොහෝ විට හඳුනා ගැනීමට හැකි බැවින් අනුරාධපුර යුගයෙන් පසු පොළොන්නරු රාජකීය කාලසීමාවේ දී මෙම ස්‌ථානය භික්‍ෂූන් වහන්සේලාගේ භාවනා මධ්‍යස්‌ථානයක්‌ ලෙස යොදාගත් බවට අනුමාන කළ හැක. ඒ සඳහා කටාරම් කෙටූ ගල්ගුහා කදිම සාක්‍ෂියකි.

මෘදුකාංග ශිල්පී ශාන්ත මහේෂ් කුමාර මහතාට අනුව රන්මසු උයනෙ හි පවතින මෙම සක්වල චක්‍රාවාටය මෙක්සිකෝවේ “කුකුල්කාන් පිරමීඩයට kukulkan pyramid”  සමානකම් රැසක් දක්වන බව සඳහන් කරයි.එම මහතාට අනුව පෘථිවිය වෙනත් කක්ෂයක් වටා භ්‍රමණය කර ඇති බව මෙමඟින් පෙන්නුම් කරන බව එතුමාගේ අදහයි.

 

පූජ්‍ය හිනටිගල ඉන්ද්‍රවංශ හිමියන් ආධ්‍යාත්මික නැඹුරුවකින් මෙය ඉදිකර ඇති බවත් ආගමික නැඹුරුවක් ද එයට ඇති බවද අදහස් කරයි.

කෙසේ වෙතත්, පුරාණ කාලයකට අයිති යම් සංකේතයක් එම සංකේතය සම්බන්ධ කිසියම් සඳහනක් කර නොමැති අවස්ථාවක,එනම් මෙම සංකේතයෙන් දැක්වෙන්නේ මෙන්න මේ අදහස යනුවෙන් සඳහන් කර නොමැති අවස්ථාවක ඒ සංකේතය පිළිබඳ නූතනයේදී අර්ථ දැක්වීම ඉතාම අපහසු කටයුත්තකි.

එවැනි අවස්ථාවක යම් යම් විද්වතුන්ට, එය පිළිබඳ අධ්‍යයනය කරන්නවුන්ට යම් යම් ස්ථාවරය වල සිට මෙය මෙය විය හැකි යැයි අදහස් දැක්වීමට හැකියාව ඇත.නමුත් ඒවා කොතෙක් දුරට නිවැරදි වේදැයි කිවනොහැකි වෙයි.මේ නිසා සක්වල චක්‍රය පිළිබඳව ද තිබෙන මති මතාන්තර කුමකින් කුමක් නිවැරදි වේ දැයි අපට නිගමනය කළ නොහැකි වේ.ඇතැම්විට සැබැවින්ම මෙතන දැක්වූ කිසිම අදහසකට සමාන නොවන වෙනත් අරමුණක් උදෙසා මෙම නිර්මාණය කළා වන්නට ද පුලුවන.
මේ නිසා රන්මසු උයනේ පිහිටි සක්වල චක්‍රය තවමත් විසඳ ගැනීමට නොහැකිවූ අභිරහසක්ව පවතී.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.