ඖෂධීය ගුණයෙන් අනූන ශ්‍රී ලාංකේය පාරම්පරික සහල් වර්ග

 2,403 Total views,  5 Views today

අපගේ පාරම්පරික ආහාර රටාව ශක්තිමත්, දියුණු මනසක් හා නිරෝගිමත් ආයුශ වැඩි දිවියක් ගත කිරීමට බෙහෙවින් දායක වී ඇති බව තර්ක විතර්ක නොමැතිව පිළිගත හැකි කරුණකි.වසවිසෙන් තොර ගුණාත්මක ආහාර වේලක් ගැනීමට ආදිමුතුන් මිත්තන් නිරතුරුවම උත්සුක වූහ. පාරම්පරික ආහාර රටාව පිළිබඳ දැනුවත් වීමේ දී ඉපැරණි සහල් පිළිබඳ කථා කළ යුතුමය. ශ්‍රී ලංකාව තුළ අපටම ආවේණික වූ පාරම්පරික සහල් වර්ග 2000ක් පමණ තිබුණු බවට වාර්ථා වේ. ඔබ එයින් සමහරක් සහල්වල නමවත් ජීවිත කාලයටම අසා නැතිවෙන්නට පුළුවන.

   ලංකාව තුළ තිබෙන්නේ වර්ණක අඩංගු සහල් වර්ග වේ.සුදු වර්ණ සහල් බොහෝ අඩුය. නමුත් මෙම වර්ණක  සහිත සහල් වලට ලෝකයේ අවධානය දැන් යොමු වී ඇත. මන්දයත් සුදු සහල් වලට වඩා එම සහල් වල පෝෂණ සංඝටක වඩා වැඩියෙන් පිහිටා තිබීම නිසා ය.

දැන් දැන් අපේ රට තුළ ද ස්වභාවික ආහාර රටාවට නැඹුරු වීමක් දක්නට ලැබුනද ලෝක සෞඛ්‍ය සංවිධානය තම තමන්ගේ දේශීය හා පාරම්පරික ආහාර රටාවන්ට නැඹුරු වන්නයැයි පවසන ලද්දේ 2002 වසරේ දී පමණය. මන්ද බෝ නොවන රෝග අවම කිරීමට හා නිරෝගිමත් දිවියකට එය පිළියමක් වන නිසා ය.

   එම නිසා මෙම ලිපිය තුළින් පාරම්පරික සහල් වර්ග කීපයක් හා ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳ ගෙන ඒමට බලාපොරොත්තු වෙමු.

01.කළු හීනටි


දහයියා මතුපිට දක්නට ලැබෙන කළු පැහැය හේතුවෙන් මෙම වී වර්ගය ට  එම නම ලැබී ඇත.වියළි කලාපයේ බහුලව වගා කරනු ලබයි.මොරෙයියන් 05 – 08 ත් අතර ප්‍රමාණයක් හටගනී.වපුරා මාස තුනකින් පමණ අක්කරයට වී බුසල් 30 -50 පමණ අස්වැන්නක් අපේක්ෂා කළ හැකිය.

කළුහීනටි ශාකයේ මූල පද්ධතියේ වෙසෙන බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ශාකයට අවශෝෂණය කර ගන්නා අයන වල ධ්‍රැවීයතාවය (ධන-ඍණ භේදය) වැඩි කරවයි.

  1. එම නිසා විෂ සහිත අයන ස්වභාවිකවම ඉවත් කිරීමේ හැකියාවක් කළුහීනටි සහල සතුයි. මෙම සහල සින්ක් සහ යකඩ වලින් පරිපූර්ණවේ.
  2. ඕනෑම විෂක් හරණය කිරීමට හැකි මෙම සහල් පිළිකා රෝගීන්ට සහ හෘද රෝගීන්ට මහත් ගුණදායක බව සඳහන් වේ .
  3. ශරීර ශක්තිය වඩවන අතර ඉන්සියුලින් හෝර්මෝනය නිපදවීම උත්තේජනය කරන නිසා දියවැඩියා රෝගීන්ටත් ඉතා සුදුසුයි.
  4. කය සිසිල් කරනු ලබයි.
  5. කාය ශක්තිය වැඩි කරවයි.
  6. සර්ප විෂ නසන ඔසුවකි.

02.මඩතවාලු ඖෂධීය සහල්

පාරම්පරිකඖෂධීය රතු හාල් ප්‍රභේදයක් වන මඩතවාලු 140 cm ක් පමණ උසට වැඩේ.මොරෙයියන් 20 – 30 ත් අතර ප්‍රමාණයක් හටගන්නා අතර අක්කරයට වී බුසල් 110ක් පමණ ඉක්මවා අස්වැන්න ලබාගත හැකි වේ.ඒවාගේම කාබනික පස තුළ හොඳිවගා කළ හැකිය. ඔක්තෝබර් මාසයේදී ඇරඹෙන මහ කන්නයේදී වගා කෙරෙන මඩතවාලු වල කාබෝහයිඩ්‍රේට සංයුතිය අවම වන අතර ඉහළ ප්‍රෝටීන සහ මේද සංයුතියකින් යුක්ත වේ.

මහ කන්නයේදී යල කන්නයට වඩා පස තුළ සක්‍රීය වන බැක්ටීරියා සහ දිලීර ගහණය සහ විවිධත්වයත්, ඔවුන් ස්‍රාවය කරන එන්සයිම වල සංයුතියත් වෙනස් වේ.

මේ නිසා ශාකයේත්, පාංශු ජීවීන්ගේත් ක්‍රියාකාරීත්වය වෙනස් වන අතර බීජ තුළ ග්ලූකෝස් අවම වශයෙනුත්, ප්‍රෝටීන, තන්තු සහ මේද වැඩි වශයෙනුත් තැන්පත් වීමට මෙම කාරණය බලපාන අතර මඩතවාලු වල ප්‍රෝටීන හා මේද ජීර්ණය පහසු කරවන එන්සයිම සාන්ද්‍රණය ඉහළ අගයක් ගනී.

  1. ආහාර ජීර්ණය පහසු කරවීමට මඩතවාලු සහල් උපයෝගී වේ.
  2. ශරීරයේ මාංශ පේෂීන් වර්ධනයට අවශ්‍ය වන විටමින් සහ ඛණිජ ලවණ රැසකින් මඩතවාලු පරිපූර්ණ වේ.
  3. අාහාර මාර්ගයේ ඇති ආස්තරය ආරක්ෂා කරයි.
  4. විෂ ප්‍රතිරෝධී ගුණයෙන්ද යුක්තයි.
  5. තවද ශරීරයේ පවතින පිළිකා කරක ඇතුළු සියළුම විෂ හරණයටත්, ශරීර උෂ්ණත්වය පාලනය කරමින් ස්වේද ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමටත්, රුධිර සංසරණය ක්‍රමවත් වීමත් මෙමඟින් සිදු වෙනවා.
  6. ජාන විකෘති වීම වළක්වන අතර සෙම් සහ වාත රෝග වලට ඉතා  සුදුසුයි.

 

 

03.සුවඳැල්

සුවඳැල්පිසින විට වහනය වන ආවේණික සුවඳකින් යුක්ත ඇල් සහල් වර්ගයකි.කිරි රසයෙන් ද යුක්ත මේ බත  කුඩා දරුවන්ටද ඉතා යෝග්‍ය වේ.

මෙහි ඇති පෝෂණ කොටස් :
කාබොහයිඩේ‍්‍රට් 90%
ප්‍රෝටීන්  7%
මේදය 0.7%
තන්තු 0.1%

සුවඳැල් ශාකය පසෙහි ඇති අයන වර්ග ලෙහෙසියෙන්ම උරා ගැනීමට සුවඳැල් වලට හැකියාව ඇත.

වෙනත් සහල් වර්ග සමඟ හෝ මුං ඇට, තල, කුරහන් වැනි ධාන්‍ය වර්ග කිහිපයක් සමඟ මිශ්‍ර කර කැඳ සකසා ගැනීමෙන් හෝ තලප සාදා ගැනීමෙන් පෝෂක කොටස් ශරීරයට අවශෝෂණය කිරීම පහසු වේ.

  1. සුවදැල් හාලේ අඩංගු විටමින් E  නිසා සම පැහැපත් වේ.
  2. ග්ලූකෝස් සංචිතය අවම මට්ටමකින් පවතින සහල් වර්ගයක් වන මෙමඟින් ශරීරයේ හෝමෝන වල ක්‍රියාකාරීත්වය සමතුලිත කිරීමට උපකාරී වේ.
  3. විශේෂයෙන්ම ඇඩ්‍රිනලින් වැනි හෝමෝන වල ස්‍රාවයන් පාලනය කරන අතර ඒ නිසා හෘද ස්පන්දන වේගය සාමාන්‍ය වී අධි රුධිර පීඩනය වැනි රෝග වලින් වැළකී සිටීමට උපකාර වෙනවා.
  4. සුවඳැල් සහල් මඟින් අක්ෂි කූප වලට සම්බන්ධ වන කේශනාලිකා වල ප්‍රත්‍යස්ථතාවය පාලනය කිරීම නිසා ඇස් වලට හොඳ රුධිර සැපයුමක් ලැබෙනවා.
  5. එමඟින් මොළය සහ ඇස අතර පණිවුඩ හුවමාරු කෙරෙන ස්නායු වල ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු වෙනවා.
  6. මීට අමතරව ශරීරයේ ස්නායු උත්තේජනයට සහ පිළිසකර කරවීමටත් මෙම සහල් වර්ගය දායක වෙනවා.
  7. මුත්‍රා පිරිසිදු කරයි.
  8. ඒ වගේම සුවඳැල් මඟින් මළ බද්ධය දුරු කරයි
  9. දියවැඩියාව පාලනය කරයි.

 

 

04.පච්චපෙරුමාල්


මෙහි තේරුම භාග්‍යවතුන් වහන්සේගේ වර්ණය යන්නයි.පාරම්පරික සංස්කෘතියේ දී මෙම සහල් දිව්‍යමය සහ ලෙස හඳුන්වනු ලබයි. පච්චපෙරුමාල් සියපත් ඇල් නමින් ද හඳුන්වයි. එසේ හඳුන්වනු ලබන්නේ නෙලුම් මලක ඇති පත්‍ර සියයකින් ලැබෙන ශක්තිය මෙම වී එක ඇටයක අඩංගු වී තිබීම නිසා වේ මෙම ඇල් සහල යල කන්නයේදී වගා කෙරෙනවා.

  1. උෂ්ණත්වයට අනුව පොත්තේ ඝනකම වෙනස් වන අතර අධික උණුසුමක් ඇති විට ආස්‍රැති පීඩනය වෙනස් කරමින් එය පාලනයට පොත්තෙහි අයන වර්ග රඳවා ගන්නවා.
  2. මෙහිදී කාබෝහයිඩ්‍රේට සංයුතිය වෙනස් වන අතර ග්ලූකෝස්, කාබෝහයිඩ්‍රේට වල වෙනත් ආකාර බවට පරිවර්තනය වෙනවා.
  3. මෙම වර්ගයට කිතුල් පැණිවල ඇති සුක්‍රෝස් ප්‍රමාණය වෙනස් කළ හැකියි. කිතුල් පැණි සමඟ සියපත්ඇල් සහල් පිටි මිශ්‍ර කළ විට එහි ඇති ග්ලූකෝස් සංචිතය අඩු වී තන්තුමය ස්වභාවය වැඩි වෙනවා.
  4. ශරීරයට සීනි අඩුවෙන් උරාගන්නා සහලක් ලෙසින් පච්චපෙරුමාල් සහල් හැඳින්විය හැකිය.
  5. මෙම සහල් වර්ගයේ පෝෂණ ගුණය ඉතා අධික වන අතර කොලෙස්ටරෝල් නැත. පිළිකා ඇති කළ හැකි සෝඩියම්, ග්ලූටීන් මෙම පච්චපෙරුමාල් සහලේ අඩංගු නොවේ.
  6. තවද මෙහි යකඩ, පොටෑසියම්, විටමින් බී අන්තර්ගත වේ. මැන්ගනීස් බහුලව ඇති නිසා පිළිකා ඇති කරන විෂ තත්ත්වයන්ට විරුද්ධව ක්‍රියාකිරීමේ හැකියාවක් ඇත.
  7. අධික රුධිර පීඩනයට ඉතා ගුණදායක වේ.
  8. එමෙන්ම පච්චපෙරැමාල් සහල් කෝප්පයක කෙඳි ග්‍රෑම් 3.5 ක් අඩංගු නිසා මළ හොඳින් පිටකෙරේ.
  9. මෙම සහල් හොඳින් සෝදා අව්වේ වේලා බැඳ පිටිකර අග්ගලා ද සෑදීමෙන් ඉතා රසවත් ආහාරයක් සාදාගත හැකිවේ. පච්චපෙරුමාල් සහලෙන් සාදන කිරිබත ද රසවත් බවින් අනූන බව පිළිගැනේ.
  10. අතීත ලාංකිකයන් කැවිලි වර්ග සෑදීමට මෙම සහල් වර්ගය ඉතා ගුණදායකය. ඒ නිසා  පැරැන්නන් මෙමෙ සහල් කැවිලි සෑදීමේදී බහුලව භාවිතා කළ බව කියැවෙයි.
  11. බහිස්‍රාවී පද්ධතියේ නිරෝගී බව පවත්වා ගැනීමට ඉතා කදිම සහලකි.
  12. මුත්‍රා නිපදවීමේදී වෘක්කාණු වල ප්‍රති අවශෝෂණ හැකියාව වැඩි කරමින් ශරීරයට අවශ්‍ය විටමින් වර්ග අධිකව ශරීරයෙන් බැහැර වීම පාලනය කිරීමටද උපකාරී වේ.
  13. මීට අමතරව ඇට මිදුළු වල රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍ය හෝමෝන සහ එන්සයිම ස්‍රාවය උත්තේජනය කිරීමත් සියපත්ඇල්  මඟින් සිදුවේ.
  14. ඒ වගේම මෙම සහලට සර්ප විෂ නැසීමේ හැකියාවත් පවතී.

 

05.කහවනු ඖෂධීය සහල්

සුදු පැහැති සහල් වර්ගයකි.මාස තුන හමාරකින් හෝ හතරකින් අස්වනු නෙළා ගැනීමට හැකි වේ. වී ප්‍රභේද කිහිපයකින් විශේෂණය වී ඇති මෙම වර්ගයට කහවනු යන නම ලැබී තිබෙන්නේ පසු කාලීනව ය.

  1. කහවණු ග්ලූකෝස් රුධිරයට අවශෝෂණය කිරීමත් පාලනය කරයි
  2. ආහාර ජීර්ණය පහසු කරවයි.
  3. පිළිකා සුව කිරීමේ ගුණයෙන් ද යුතු වේ.
  4. ඉහළ ඖෂධීය ගුණයක් ඇති කහවනු බත දිරවීමට ගත වන කාලය වැඩි නිසා දේශීය එළවළු සහ පලා වර්ග සමඟ  ආහාරයට ගැනීමෙන් වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගත හැකිය.

 

06.කුරුළුතුඩ

ඉතා වටිනා දේශීය රතු සහල් වර්ගයකි.

  1. කාය ශක්තිය මනාව වර්ධනය කරයි . දුටු ගැමුණු රජ සමයේදී දුටු ගැමුණු රජු පවා ආහාරයට ගත්තා සඳහන් වන්නේ කුරුළුතුඩ සහල් වර්ගයයි.
  2. ශරීරයේ උණුසුම වැඩි කරන අතර , මුත්‍රා රෝග  සඳහා ඉතාම සුදුසුවේ.
  3. අස්ථි පද්ධතියට මහත් ගුණදායක වන කුරුළුතුඩ සහලේ නිවුඩ්ඩ කාටිලේජ වලින් කැල්සියම් හරණය වළකයි.
  4. ඇට මිදුළුවල ප්‍රතිශක්තිජනක නිපදවීමේ හැකියාව වැඩි කරවයි.
  5. ශරීරයේ උෂ්ණත්වය සමනය කරනවා.
  6. කුරුළුතුඩ බත එළවළු සමඟ (පතෝල, වට්ටක්කා, වැටකොළු වැනි) ආහාරයට ගැනීමෙන් එම එළවළු වල ඇති වර්ණක, බතේ තන්තු සමඟත්, නිවුඩ්ඩේ වර්ණක සමඟත් එකතු වේ. මේ නිසා ජීර්ණ එන්සයිම නිපදවීම වර්ධනය කරේ. ජීර්ණ ක්‍රියාවලිය වඩාත් පහසු වීම එමඟින් සිදු කරයි.
  7. තන්තුමය සහ කහ පැහැති එළවළු වර්ගත්, යකඩ අධික පලා වර්ගත් කුරුළුතුඩ බත සමඟ ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායක බව සදහන් වේ.

 

07.ඕලු හාල්

ඕලූ සහල් ලෙස සැලකෙන්නේ මේරූ ඕලු මල්වල හට ගන්නා ගෙඩිවලින් නෙලා ගන්නා  ඕලු ඇටයි. මේවා සෝදා ගරා බත් හෝ කැඳ ලෙස පිසිනු ලබයි.අබ ඇට වලට වඩා මදක් විශාල වූ ඕලු ඇට රැයක් පෙඟෙන්නට තබා උදෑසන බතක් ලෙස පිස ගැනීමට හැකිවේ. එළවලු සමඟ ආහාරයට ගැනීමට අමතරව මී කිරි මුසු කොට වුවද ආහාරයට ගැනීම ඉතා රසවත් වේ.
ඕලු හාල් ග්‍රෑම්  100 පමණ ප්‍රමාණයක් දෙදෙනකුගේ ආහාර වේලකට ප්‍රමාණවත් වේ.එසේම ඕළු ඇට ජලයේ පෙගෙන්නට හැර ගලෙහි අඹරා ගෙන පොල් සමග මිශ්‍ර කර රොටී සාදා ගත හැකිවේ.ඒවා සාමාන්‍ය පාන්පිටි වලින් සාදන රොටී වලට වඩා ඉමිහිරි රසයෙන් යුක්තය. මෙම රොටී  ඉදහිට හෝ අපේ කෑම වේලට එකතු කර ගැනීමෙන් පෝෂණීය ඛනිජ ද්‍රව්‍ය ශරීරයට එකතු කරගත හැකි වන බවද කිවයුතුමය.

  1. ඕලුහාල් අක්මාව සම්බන්ධ රෝග වලටද ඉතා ගුණදායක වේ.
  2. ඕලුහාල් දියවැඩියා රෝගයට සහ අක්මාව සම්බන්ධ රෝග වලට ඉතා ගුණදායකයි.
  3. ආහාර ජීර්ණ ක්‍රියාවලිය හොඳින් පවත්වා ගැනීමටත්, අර්ශස් රෝගය වළක්වා ගැනීමටත් දායක වේ.
  4. ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කර වකුගඩු වල නිරෝගී බව පවත්වා ගැනීමටත් ඕලු හාල් උපකාරී වේ.
  5. සෙම කිපීමෙන් ඇති වන රෝග සමනය කරන අතර ඇස් පෙනීම වැඩි දියුණු කරවනවා.
  6. පිත්තාශයේ සහ වකුගඩුවල ගල් සැදීම පාලනය කරන අතර ගල් දිය කිරීමේ හැකියාවෙන්ද යුක්තයි.
  7. හෘද රෝගීන්ට ගුණදායකය.ඕලු සහල් රුධිර කැටි ගැසීම පාලනය කරයි.

 

08.රත්හැල් ඖෂධීය සහල්

  1. සිරෝසිස් රෝගයේ දී රත්හැල් වලින් සාදාගත් කැඳ බීමට දීම ඉතා ගුණදායක වේ.
  2. විවිධ වෛරස් උණ සඳහාත් අක්මාරෝග සඳහාත් රත්හැල් කැඳ බීමට දීම සුදුසු ය.
  3. උෂ්ණාධික සිරැරක් ඇති අයට රත්හැල් කැඳ සහ රත්හැල් බත දීමෙන් ඇඟ සිසිල් කරනු ලබයි.
  4. පිත්තාශයේ සහ වකුගඩුවල ගල් පවතින විටදීද රත්හැල් බත ඉතා ගුණදායක ආහාරයකි.
  5. මෙම සහලෙන් සාදන ආහාර සමඟ එළඟිතෙල් ස්වල්පයක් මිශ්‍රකර කෑමට ගැනීමෙන් ලිංගික හැකියාව ද වැඩි වේ.
  6. ශරීරය සැහැල්ලු කරවන රත්හැල් සහල හන්දි රෝග, දියවැඩියාව, පිළිකා රෝග සහ අක්මාවේ රෝග ඇති අයට බොහෝ ගුණදායක බව පිළිගැනේ.
  7. තන්තුමය ස්වභාවය වැඩි නිසා ආහාර ජීර්ණය සහ අවශෝෂණය පහසු කරවා ජීර්ණ පද්ධතිය නිරෝගීව පවත්වා ගැනීමට රතහැල් දායක වේ.

 

 

 

09.බටපොලැල් ඖෂධීය සහල්

  1. ශරීරයේ රුධිරය වඩවන අතර විෂහරණ ගුණයෙන් යුක්තයි.
  2. දියවැඩියා රෝගීන්ට සහ පිළිකා රෝගීන්ට ඉතා ගුණදායකයි.
  3. අක්මාවේ එන්සයිම ක්‍රියාකාරීත්වය යහපත්ව පවත්වා ගැනීමටත් මෙම වර්ගය උපකාර වෙනවා.

 

 

10.හැටදා වී


රතු සහල් වර්ගයකි.

  1. දියවැඩියව පාලනය සඳහා උපකාරී වේ.
  2. ශරීරයේ දැවිල්ල පහකර සිහිලැල් ගතියක් ලබා දේ.
  3. මෙමඟින් ජෛව විසංතුලනය නිසා අැතිවන රෝගයන්ට සහනයක් ලබා ගත හැකි බව සඳහන් ය.
  4. එමෙන්ම කායික ශක්තිය වැඩි කර ගැනිමටද, හෘද්වාහිනි රෝග, ලේ වමනය යනාදි රෝගයන් සඳහාද බෙහෙවින් උපකාරි වේ.

 

11.මා වී


මහ කන්නයේ වගාකරන රත් පැහැයට හුරු දුඹුරු වර්ණයෙන් යුත් සහල් වර්ගයකි. 350cm උසට වැඩේ.වී වපුරා වැඩීමට මාස 5 ක් 6ක් ගතවේ.මොරෙයියන් 15 -20 ක් පමණ හට ගන්නා නිසා අස්වැන්න අක්කරයට වී බුසල් 70ක් පමණ අපේක්ෂා කෙරේ.කාබොහයිඩේ‍්‍රට් අඩු ප්‍රෝටීන් වලින් සහ තන්තු බහුල වී වර්ගයකිමා වී සහල් තැම්බීමට පෙරාතුව හොඳින් පෙඟවිම ඉතා කළ යුතු ය. සිහින්ව කපා ගත් ලුණුකොල, ලීක්ස් මිශ්‍ර කර පිසූ බත් සමග පිළිගන්වනු ලබන දියලබු ව්‍යංජනය (පොලිකිරි, කුළුබඩු හා ඉතා සුළු ප්‍රමාණයක තෙල් එක්කර පිසිනු ලබන) සම්ප්‍රදායික කැම වර්ගයක් ලෙස සඳහන් ය.

අනෙකුත් පොදු වී වර්ග හා සසඳන විටදී මා වී 25% සිට 30% දක්වා අඩු Glycemic Index (GI) වලින් යුක්තය.

මෙහි පෝෂ්‍යදායී කාබොහයිඩේ‍්‍රට් 84.5% ක් ද
ප්‍රෝටීන් 9.4% ක් ද,
මේදය 3,6% ක් ද,
තන්තු 1.1% ක් ද අඩංගුය.

  1. අතීතයේ රැජිනියන් විසින් මෙම මා වී භාවිතයට වඩාත් ඇළුම් කල අතර, ඉතාමත් සිහින් හැඩති සිරුරක් පවත්වා ගෙන යාමට මෙම සහල් භාවිතා කළ බව සඳහන් ය.
  2. මෙවා තුලින් ශරීරයේ දැවිල්ල පහකර ගත සිහිලැල්  කරන බව ඔවුන් විශ්වාස කළ හ.
  3. මා වී හාල් මාංශ සමග ආහාරයට ගැනීමෙන් සුරාමත අඩු කල හැකි වේ.
  4. මේවා ක්ෂය රෝගීන් සඳහා ද සුදුසු ය.
  5. විරේකය සඳහා ඉතා පලදායි ප්‍රතිකාරයකි.
  6. එමෙන්ම මේවා දියවැඩියාව, ක්ෂය රෝගය, මලබද්ධය, අර්ශෂ් හා හෘද්වාහිනි රෝග සඳහා ඉතා යෝග්‍ය වන අතර තරබාරුකම පාලනය කිරීමද සිදු කරයි.

මා වී ඓතිහාසික වැදගත්කමකින් ද යුක්තය.ඈත අතීතයේ සිටම ආගමික උත්සව කටයුතු සඳහා මාවී යොදාගන ඇත.දාගැබ් වල කොත තුල අඩංගු පුජනිය ධාතු කරඬුව තුල මා වී ද තැන්පත් කරනු ලබන බව ජනප්‍රවාද වල සඳහන් වේ.

 

 

12.දහනල


පාරම්පරික රතු සහල් ප්‍රභේදයක් ලෙස පැවත ඒ.වපුරා මාස තුන තුන හමාරකින් පමණ අස්වැන්න නෙලා ගැනීමට හැකිවේ.පත්‍ර බූව සහිත නිසා  පැලමැක්කන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ. දහනල සහල් තලප, බත් හෝ කැඳ ලෙස ආහාරයට එක් කර ගැනීමට හැකි ය.

  1. දියවැඩියාව පාලනයේ දී දක්වන ඖෂධීය ගුණය ඉතා ඉහළ අගයක් ගනී.
  2. ප්‍රෝටීන් හා යකඩ බහුල සහල් වර්ගයකි.

 

13.මසුරං


යල කන්නයේ දී මාස තුන හමාරෙන් හා මහ කන්නයේ දී මාස හතරාමාරෙන් අස්වැන්න ලබා ගැනීමට හැකිවන ලෙස වගා කරන මසුරන් සුළඟට හා කොළ පාළු රෝගයට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුක්ත වේ.

  • දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය හා පිළිකා සෛල පාලනය කළ හැකි බව කාර්මික පර්යේෂණ ආයතනය මඟින් සිදු කළ පර්යේෂණවලින් සනාථ වී ඇත.

 

 

14.පොක්කාලි


රතු සහල් ප්‍රභේදයක් වන පොක්කාලි ලවණ හා කියුල මිශ්‍ර පස් තිබෙන ගාල්ල , මාතර , කළුතර හම්බන්තොට හා පුත්තලම ආදී ප්‍රදේශවල  වඩාත් හොඳින්  වගා කළ හැකිය.

  1. පෝටීන් බහුල ය.
  2. දියවැඩියාව පාලනය, ස්නායු රෝග, සමේ රෝග නිවාරණයට අවශ්‍ය  ඖෂධීය ගුණයෙන් යුක්තය.

 

 

 

තවත් පාරම්පරික සහල් වර්ග කීපයක් :

 

මූලාශ්‍ර: hinterlandlk.com, helasuwaya.org, dhamma.ifbcnet.org, youtube.com, sobadahealthyfoods.com

ඡායාරූප මුල් අයිතිකරුවන් සතු වේ.



තවත් මේ වගේ දේවල් දැනගන්න දැන්ම අපේ Page එක Like කරල තියාගන්න.